වර්ෂ ගණනාවක් තිස්සේ ඇදුණු විනිසුරුවරුන් පවා මාරු වූ විල්පත්තු නඩුව පසුගිය 16දා නිමාවට පත්වූයේ පරිසර ලැදි සැමගේ සිත් සතුටට පත් කරමිනි. පරිසර යුක්ති කේන්ද්‍රය විසින් 2015 දී අභියචනාධිකරණයට රිට් නියෝග ඉල්ලා මෙම අයදුම්පත ගොනු කළේය. නඩුවේ පසුබිම පිළිබඳව පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ පැවසුවේ මෙලෙසිනි.
“2019 වර්ෂයේ සිට විල්පත්තුව ආශ්‍රිත වනාන්තර එළිකරමින් අවතැන් වූ පුද්ගලයන් පදිංචි කිරීම ක්‍රියාත්මක කළා. අපි ඒ ප්‍රදේශ පරීක්ෂා කිරීමේදී වනය විනාශ කරන ආකාරයත්, එයට එරෙහිව එල්ල වූ විරෝධතාවක් දුටුවා.
නැවත පදිංචි කිරීම හරහා යුද්ධයෙන් නිජබිම් අහිමි වූ පුද්ගලයන් නැවත ඔවුන්ගේ ගම්බිම්වලට යන බව පවසමින් තමයි වනාන්තර විනාශ කළේ. නැවත පදිංචි කිරීමට අපගේ විරුද්ධත්වයක් නෑ. නමුත් රක්ෂිත වනාන්තරයක් විනාශ කරමින් නැවත පදිංචි කිරීමට විරුද්ධයි. එවකට හිටපු ඇමැතිවරයෙක් වූ රිෂාඩ් බදියුදීන් මැදිහත් වී තමයි මේ කටයුතු සිදු වුණේ. මේ වනාන්තර ඉඩම්වලට ජල පහසුකම්, විදුලි බලය, මාර්ග පහසුකම්, යටිතල පහසුකම් ලබාදීමට විශාල මුදලක් වැය කළා. අපට අවසාන වශයෙන් හොඳ නඩු තීන්දුවක් ලැබුණා. එය පරිසරයට දීර්ඝකාලීන වාසි ලබාදෙන තීන්දුවක්.”
විල්පත්තු ජාතික වනෝද්‍යානයට යාබද උතුරු අභයභූමිය, මාරචුක්කඩි, තරඩිකුලි රක්ෂිත වනාන්තර ප්‍රදේශ, විල්පත්තුවේ බටහිර කොටසේ කැබලි ii හා iv යන කොටස්, මඩු මාර්ග අභයභූමියේ වන සංකීර්ණය හා මඩු පාර රක්ෂිත වනාන්තර යන වනාන්තරවල බිම් කොටස් එළිකර අනවසර ජනාවාස පිහිටුවීම හා පරිසරයට හානි සිදුකිරීම ගැන මෙලෙස නඩුකරයක් ගොනු කර තිබුණි. පරිසරයට සහ වනජීවී වාසස්ථානවලට ආපසු හැරවිය නොහැකි හානි සිදුකිරීම හා හෙක්ටයර් 3000ක අනවසරයෙන් ජනතාව පදිංචි කිරීම යන කටයුතු මේ නඩුවට අදාළ විය.
මෙම වන විනාශය හා නැවත පදිංචි කිරීම නීතිවිරෝධී බවද අධිකරණය තීරණය කළේය. එමෙන්ම නඩුවේ ප්‍රධාන වගඋත්තරකරුවකු වන හිටපු ඇමැති රිෂාඩ් චූදිතයකු කරමින් විනාශ වූ වනාන්තරය වෙනුවට එයට සමාන වපසරියක ප්‍රදේශයක නැවත වන වගාවක් කළ යුතු බවද ඒ සඳහා හිටපු ඇමැතිවරයා තම පෞද්ගලික ධනයෙන් මුදල් වැය කළ යුතු බවද නියෝගයේ සඳහන්ය.
එසේ වනාන්තර නැවත රුක් රෝපණය කිරීමට වැයවන මුදල නඩු තීන්දුව දුන් දින සිට මාස දෙකක් ඇතුළත වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ගණනය කර වගඋත්තරකාර රිෂාඩ් බදියුදීන්ට දැනුම් දිය යුතුය. එම දැනුම්දීම කර මාසයක් ඇතුළත ඔහු අදාළ මුදල ගෙවිය යුතු වේ.
ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබීය. විල්පත්තු රක්ෂිතය ආශ්‍රිතව පිහිටි මාරචුක්කඩි රක්ෂිතයේ පවුල් 1500ක් පදිංචි කිරීම්වලට එරෙහිව පෙත්සම ගොනු කර ඇත. මේ වනාන්තර අයත් වන්නේ කල්ලාරු රක්ෂිත වනාන්තර කලාපයටයි.
වගඋත්තරකරුවන් එයට පිළිතුරු වශයෙන් සඳහන් කර තිබුණේ රජය අවතැන්වූවන් පදිංචි කිරීමට පියවර ගෙන තිබුණේ උගත් පාඩම් හා ප්‍රතිසංහිඳියා ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශවලින් පසුව බවත්, එය මෙරට හා ජාත්‍යන්තර නීතියට අනුකූල බවත්ය. අධිකරණයට ඉදිරිපත් වූ සාක්ෂි අනුව රක්ෂිත වනාන්තරවල වන සංරක්ෂණ පනත උල්ලංඝනය කරමින් වනය එළිපෙහෙලි කර සරණාගතයන් පදිංචි කර ඇති බව පැහැදිලිව තිබුණි.
නඩුවේ තීන්දුව ලබා දුන්නේ දූෂකයා ගෙවීමේ මූලධර්මය වන රියෝද ජැනයිරෝ ප්‍රකාශයේ 16 වැනි වගන්තිය අනුවය. එම මූලධර්මය ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙන්ම මෙරට නඩු තීන්දු කිහිපයකදී ද භාවිත කර ඇත. එම මූලධර්මය අනුව පරිසරයට හානි කළ පාර්ශ්වය විසින්ම ඊට වන්දි ගෙවිය යුතු වේ. එම කරුණු අනුව වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව මැන්ඩාවුස් රිට් ආඥාවක් නිකුත් කර ඇත.
පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේ නීතිඥ නිල්මල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ සහ නීතිඥ එස්. පොන්නම්පෙරුමයි. මේ පිළිබඳව අදහස් දැක්වූ නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ:
“මේ නඩු තීන්දුව විල්පත්තු අවට පරිවාර වනාන්තරවල ආරක්ෂාවට විතරක් නොවෙයි, ඉදිරියේ සිදුවිය හැකි පරිසර විනාශවලටත් පූර්වාදර්ශයක් විය හැකි හොඳ ප්‍රතිඵලයක්. වන සංරක්ෂණ ආඥා පනත තමයි අපේ නඩුවේ පදනම වුණේ. රක්ෂිත වනාන්තරයක නීතියෙන් අවසර දී නැති යමක් කරනවා නම් මුලින්ම කළ යුත්තේ අදාළ ඇමැතිවරයා විසින් එය රක්ෂිතභාවයෙන් මුදාගැනීමයි. ආඥා පනතේ 7 වැනි වගන්තියේ එයට ප්‍රතිපාදන තිබෙනවා. එම වගන්තිය උල්ලංඝනය කරමින් කළ වරදක් ගැන තමයි අපි අධිකරණයට කරුණු කිව්වේ. මේ නඩු තීන්දුව නිසා අපේ රටට අක්කර දහස් ගණනක් අලුතෙන් එකතු කර ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. මේ පූර්ව නිදර්ශනය නිසා ඉදිරි පරිසර ප්‍රශ්නවලදී අධිකරණය වැඩි බරක් යොදනු ඇතැයි අපි සිතනවා.”
පසුගිය කාලයේ විල්පත්තුව ගැන නිතර මාධ්‍යවලින් ද පරිසර සංවිධානවලින් ද හඬ නැගුවේය. එහෙත් බලධාරීන් ඇස් කන් පියාගෙන සිටියා පමණි. “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 (25) ඡේදය අනුව ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියකුගේම මූලික යුතුකමක් වන්නේ සොබාදහම ආරක්ෂා කිරීමයි. එය හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වැනි මහජන නියෝජිතයන්ට ද රාජ්‍ය නිලධාරීන්ට ද අදාළ වේ.” යැයි නඩු තීන්දුවේ සඳහන්ය.
නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිස්ත්‍රික් ලේකම්, හිටපු කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු 9 දෙනෙක් නම්කර සිටියහ. විල්පත්තු රක්ෂිත වනාන්තරයට ආසන්නව පිහිටි කල්ලාරු රක්ෂිත වනාන්තර කලාපයේ වනාන්තර කිහිපයක් එළිකර අනවසර ඉදිකිරීම් සිදුකර විශාල පාරිසරික හානියක් කර ඇති බවද පරිසර යුක්ති කේන්ද්‍රය පෙත්සමෙන් පෙන්වා දී තිබුණි.
මෙම නඩුවේ තීන්දුව 2019 වසරේ අගෝස්තු මස ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි. නමුත් එය විභාග කළ විනිසුරු මහින්ද සමයවර්ධන එම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට අකමැත්ත පළකිරීම නිසා අදාළ පෙත්සම යළිත් මුල සිට විභාග කිරීමට එවකට සිටි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා තීරණය කළේය. පසුගියදා ලබා දුන්නේ එසේ යළිත් විභාග කළ පෙත්සමේ තීන්දුවයි.
මෙසේ නීතිවිරෝධී අයුරින් පදිංචි කළ 1500ක පමණ පිරිසක් සිටින බව සඳහන්ය. සරණාගතයන් යැයි පැවසෙන ඔවුන්ට සිදුවන්නේ කුමක්ද? මේ ගැන නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මෙසේ පැවසුවේය.
“පදිංචිය නීතිවිරෝධී බව අධිකරණය තීන්දු කරලා ඉවරයි. එවිට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පුළුවන් අධිකරණ තීන්දුව මත ඔවුන්ට එරෙහිව කටයුතු කර තමන්ට අයිති වනාන්තර නිදහස් කර ගන්න. ඒ වගේම රජයටත් කිසිම අයිතියක් නෑ නීතිවිරෝධී ප්‍රදේශයක පදිංචි අයට ඉඩම් බලපත්‍ර හෝ ඔප්පු ලබාදීමට.”
නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ ද එය ක්‍රියාත්මක වේද? අපට ඇත්තේ එවැනි අමිහිරි අතීතයකි. නීතිඥ දාබරේ පැවසුවේ එසේ වුවහොත් යළිත් අධිකරණයට යාමට පරිසර යුක්ති කේන්ද්‍රය සූදානම් බවය.
කුසුම්සිරි විජයවර්ධන