දුර පේන තැනිතලා - අනුරාධපුර බලා, නවතින්න තිස්ස, සම්බුදු මංගල්ලේ, නංගි නංගී රූපිකා ඇතුළු ජනප්‍රිය පැරැණි ගීත රැසක් දැයට දායාද කළ අප රටේ ජ්‍යෙෂ්ඨතම ගායිකා විවියන් ද සිල්වා බොරලැස්ස වසර 86ක් ආයු වළඳා පසුගියදා දැයෙන් සමුගත්තාය. පුරා දශක අටකට ආසන්න කාලයක් ශ්‍රී ලාංකීක ගී කෙතට නොමයුරු දායකත්වයක් ලබාදුන් විවියන් ද සිල්වා මිය යනතෙක්ම ගීත සජීවීව ගායනා කළාය.
නවකයින් පවා වත්මන් තාක්ෂණ මෙවලම් යොදාගනිමින් පසුබිමින් වාදනය වන ගීතයට දෙතොල් චලනය කරන යුගයක විවියන්ද සිල්වා ප්‍රවීණතම ගායිකාව ඕනෑම වේදිකාවක හෝ රූපවාහිනී වැඩසටහනක ගී ගැයුවේ සජීවී ලෙසය.
ඇය ගායන ලොවට අවතීර්ණ වනවිට ඇයට යන්තම් අවුරුදු අටක් පිරුණා පමණි. 1930 නොවැම්බර් මස 24 වැනිදා ජී.එෆ්. ද සිල්වා සහ ඩී.එල්. සහබන්දුට දාව උපන් විවියන් පවුලේ එකම දරුවා විය. ඇගේ පියා Safety Tours නමැති බස් ප්‍රවාහන සමාගමේ හිමිකරැවා විය. ඔහු අතිශයින්ම සංගීතයට, කලාවට ප්‍රියකළ අයෙකි. ඒ නිසාම ඔහුගේ එකම දියණියට සංගීත ඥානය ලබාදීමට උනන්දු විය. ඇගේ පියා නාට්‍ය සංදර්ශනද සංවිධානය කළ අතර එවැනි අවස්ථාවලදී කුඩා විවියන්ට අනිවාර්යයෙන්ම පිළිගැනීමේ ගීතය ගායනා කරන්නට අවකාශ ලැබිණ. අති දක්ෂ ගායිකාවක් ලෙස සංගීත දිවියේ මුල් පියවර තබමින් ඇය ගුවන් විදුලියට පා තැබුවේ වයස අවුරුදු 8ක දැරියක ලෙසය. ඇය යෝග්‍යතා පරීක්ෂණය සමත් වූයේ ඇගේ මාමා කෙනෙකු වූ ජේ.ආර්. එච්වර්ඩ් සමඟ යුග ගීයක් ගායනා කරමින්ය. 1940 සිට ඇය ගුවන් විදුලියේ සරල ගී වැඩසටහන් රැසකට ගීත ගායනා කළාය. අද මෙන් නොව එදා ගීත ගායනා කළ යුතුව තිබුණේ සජීවී ලෙසය. ගී පදමාලා ගැනද බලධාරීන් විශේෂ සැලකිල්ලක් දැක්වූ නිසා ඒවාද ඉතා ප්‍රවේශමෙන් තෝරා ගැනීම එදා ගායක ගායිකාවන්ට තිබූ තවත් දැවැන්ත වගකීමක්. රූපසිංහ මාස්ටර්, ලයනල් එදිරිසිංහ, එඩී මාස්ටර් වැනි දැවැන්තයින්ගේ හෙවණැල්ලේ හැදී වැටුණු විවියන් පසුව ගුවන් විදුලියේ A ශ්‍රේණියේ ගායිකාවක ලෙස ශ්‍රේණිගත වූවාය.
මාධ්‍යත් සමඟ ඉතාම ළෙන්ගතුව ඇසුුරු කළ විවියන් ද සිල්වා ප්‍රවීණ ගායිකාව වරක් අපහට පැවසුවේ 1950 දශකයේ HMV ගීත තැටියක් අලෙවි වූයේ රු. 5ට බවත්, එම තැටිවල ගීත ගායනය වෙනුවෙන් ඇයට එක් ගීයකට ලැබුණේ ශත 25ක් බවත්ය. කාගිල්ස් සමාගම වෙනුවෙන් ඇය ගැයූ HMV තැටි අතිශයින් ජනප්‍රිය වූ නිසා. ඇයට එම සමාගමෙන් රේඩියෝග්‍රෑම් යන්ත්‍රයක්ද ලැබී තිබුණි. සුනිල් සාන්තයන් සමඟ ඇය ගැයූ රරල්ල නැඟෙන්නේ* ගීතය අතිශය ජනප්‍රියත්වයට පත්වූවා සේම එම ගීතයට අත්වැල් ගායනය සඳහා සහාය වී තිබෙන්නේ පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව, සී.ටී. ප්‍රනාන්දු, කාන්ති වක්වැල්ල හා පර්සි ජයවර්ධනය. එච්.ආර්. ජොතිපාල, සී.ටී. ප්‍රනාන්දු, සිසිර සේනාරත්න, හරූන් ලන්ත්‍රා හා ධර්මදාස වල්පොල සමඟ යුග ගීත ගායනා කර තිබෙන විවියන් ද සිල්වා බොරලැස්සගේ ගීත රැසකට තේමා වූයේ බෞද්ධ හා දේශභිමානී පසුබිම්ය. ඇයට චිත්‍රපට පසුබිම් ගායනය සඳහා එදා ඇරයුම් ගලා ආවත්, ඇගේ මවුපියන් තම එකම දියණිය ගී පටිගත කිරීම සඳහා ඉන්දියාවට යැවීමට විරුද්ධ වූහ.
විවියන් ද සිල්වා කාගේත් හොඳ හිත දිනා ගනිමින් කාගේත් ආදරයට හා ගෞරවයට පාත්‍ර වෙමින් අවසන් කාලය දක්වාම ගෙව්වාය. ඇයට දරුවන් හය දෙනෙකි. පුතුන් 4 දෙනෙක් හා දියණියන් 2කි. ඔවුන්ටද ගීත ගැයීමේ සහජ හැකියාව තිබුණත් ඇගේ පුත් කපිල පමණක් මවගේ අඩි පාරේ යමින් ගායන ලොවට පිවිසුණේය.
ඇය කිසි දිනෙක මුදල් හෝ ජනප්‍රියත්වය පසුපස හඹා නොගිය බව කවුරුත් හොඳින් දන්නා කාරණයක්. ඒ බව මනාව පිළිබඹු වන සාධකයක් සටහන් කරනු කැමැත්තෙමි. 1930 ගණන්වල සංගීත කේත්‍රයට අවතීර්ණ වූ විවියන් ද සිල්වා බොරලැස්ස ඇගේ මුල්ම ගීත ඇල්බමය ජනගත කළේ 2011දීය. සම්බුදු මංගල්ලේ නමැති ඒ ගීත ඇල්බමය 2600 සම්බුදත්ව ජයන්තිය වෙනුවෙන් නිකුත් කළ අතර එහි සංගීත නිර්මාණය කළේ ලලිත කලා විශාරද මනෝජ් පීරිස්ය.
2500 සම්බුද්ධ ජයන්තිය, 2550 සම්බුද්ධ ජයන්තිය හා 2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් විශේෂ ගීත ගායනා එකම වාසනාවන්ත ගායිකාවක ලෙසද විවියන් ද සිල්වා බොරලැස්සගේ නම සංගීත ඉතිහාස පොතට ඇතුළත් වී තිබීම සුවිශේෂී කාරණයකි.
වසන්තා සන්ඳනායක, වින්සන් ද පෝල් පීරිස්, සුසිල් ප්‍රේමරත්න, ප්‍රිසිලා ඕපාත, සී.ටී. ප්‍රනාන්දු, කාන්ති වක්වැල්ල, මොහිදීන් බෙග් වැනි ඇගේ සමකාලීනයින්ගේ ගීත මෙන්ම විවියන් ද සිල්වා බොරලැස්සගේ ගීත අද පමණක් නොව මතු පරම්පරා ගණනාවකගේ මතකයන්හි සදා රැඳෙනු ඇත.
රමේෂ් උවයිස්