අමෙරිකාව විසින් මෙරට ධීවර ප්‍රජාව මසුන් මැරීම සඳහා භාවිත කරන තහනම් ආම්පන්න සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. මෙරට ධීවර නිෂ්පාදනවලින් තුනෙන් එකක කොටසක් මිලදී ගන්නේ අෙමරිකාව විසිනි. පසුගිය වසරේ අමෙරිකාව මිලදී ගත් මසුන් කිලෝ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 4088කි. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ මසුන් මිලදී ගැනීම නවතා දමන බවට අෙමරිකාව තර්ජනය කර තිබේ. අෙමරිකාව විසින් එම තහනම ක්‍රියාත්මක කළොත් ලංකාවේ ප්‍රධානම මත්ස්‍ය වෙළඳපොළ අහිමිවී විශාල පාඩුවක් සිදුවීම නියතයකි.
අෙමරිකාව පවසන්නේ ශ්‍රී ලංකා බහුදින යාත්‍රා ධීවරයන් විසින් භාවිත කරන මරුවැල් Long line නිසා ඩොල්පින් වර්ගයේ මසුන් මැරෙන බවත් ඒ නිසා එම තහනම ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බවත්ය. ජාත්‍යන්තර සමුද්‍ර නීතිය අනුව ඩොල්පින් වර්ගයේ මසුන් මැරීම තහනම්ය. නමුත් ලොවපුරා වැඩිපුර ලාභ තකා බහුලව භාවිත කරන මරුවැල් නිසා ඩොල්පින් වර්ගයේ මසුන් පමණක් නොව මුහුදු කැස්බෑවෝ, කුරුලු විශේෂ ඇතුළු සමුද්‍ර ජීවි විශේෂ ගණනාවක් තර්ජනයට ලක්ව තිබේ. මේ වනවිටත් මරුවැල් නිසා ජීවින් විශේෂ ගණනාවක් මරුවැලට හසුවී විනාශ වී ඇත.
මරුවැල් යනු ප්‍රධාන එක් ගණ නූල් රේඛාවක සිට බිලී කොකු සහිත තවත් නූල් ගණනාවක් පහළට විහිදී යන ආම්පන්නයකි. කුඩා පරිමාණ මසුන් මරන්නන් විසින් ප්‍රධාන රේඛාවේ සිට කොකු 25ක් වැනි අඩු ප්‍රමාණයක් භාවිත කරද්දි මහා පරිමාණ මසුන් මරන්නෝ සැතපුම් ගණන දිගු රේඛාවේ කොකු දහස් ගණනක් භාවිත කරති. ඇතැම් මරුවැල් සැතපුමක් පමණ දෙකකට සීමා වෙද්දි මහා පරිමාණයේ දී සැතපුම් සිය ගණනක් දක්වා විහිදෙයි. කොකු දෙකක් අතර අඩි 25ක් පමණ පරතරයක් පවත්වයි. කොකුවල ඇම අමුණා තබනු ලැබේ. මසුන් එම ඇමට ආකර්ෂණය වී කොක්කේ පැටලෙයි. රේඛාවේ එක් කෙළවරක් යාත්‍රාවේ යන්ත්‍රයකට සවිකොට තිබේ. ප්‍රධාන රේඛාව ජලය මතුපිට තබා ගැනීම Styrofoam මගින් තැනූ ආම්පන්න භාවිත කරයි. ඇතැම් විටෙක මැරීමට අපේක්ෂා කරන මාළු විශේෂය සිටින ප්‍රමාණයේ ගැඹුරු ස්ථානයක වුවද ප්‍රධාන රේඛාව ස්ථානගත කරයි.
විශේෂයෙන්ම මරුවැල් යොදාගන්නේ ටූනා, තලපත් සහ මෝරුන් (swordfish, tuna, halibut, sablefish) වැනි මාළු විශේෂ මැරීම සඳහාය. ඇතැම් කකුළුවර්ග මැරීම සඳහා ගැඹුරු මුහුදේ මරුවැල් එළනු ලැබේ. මීට අමතරව ජාවාරම්කරුවන් විසින් ඩොල්පින් මසුන් මැරීම සඳහාත් මරුවැල් භාවිත කරයි. දිග මෝරුන් විශේෂ ගණනාවක පැවැත්මට මරුවැල් තර්ජනයක් වී ඇත. ජාවාරම්කරුවන් අති බහුතරයක් මෝරුන්ගේ වරල් සඳහා පමණක්ම මෙම දැල එළති. වරළ කපාගත් පසු මත්ස්‍ය ශරීරය නැවත මුහුදේ විසිකර දමති. වාර්තා වන පරිදි මරුවැලට හසුවන මසුන්ගෙන් 25%ක් පමණ නැවත මුහුදට විසිකර දමති. මෙම මරුවැල් මගින් සාගර ජීවින් සම්බන්ධයෙන් බැරූරුම් බලපෑමක් සිදුවන නිසා නීතිමය වශයෙන් පැසිපික් මුහුදු කලාපයේ මරුවැල් භාවිත කිරීම තහනම් කර තිබේ.
සාපේක්ෂව මරුවැල් පන්න ක්‍රමය ලොව පුරා පරිසර හිතකාමී යැයි පිළිගනු ලැබුවද කෙටි කලක් තුළ මරුවැල් පන්න ක්‍රමය මතභේදයට ලක්වූයේ මුහුදු ජීවීන්ගේ පැවැත්මට මෙම ක්‍රමය තර්ජනයක් වූ පසුවය. ඒ අතර වැඩි බලපෑමක් සිදුවූයේ සංචාරක කුරුළු විශේෂයන්ටය. මරුවැල් නිසා ලොකුම විනාශය සිදුවූයේ albatross වර්ගයේ පක්ෂීන් විශේෂයටය. මරුවැල් නිසා වසරකට මරණයට පත්වන albatross පක්ෂීන් ගණන 100000 බව ගණන් බලා ඇත.
ගැඹුරු මුහුද මතින් පියාසර කිරීමේදී මුහුද මතුපිට පෙනෙන මරුවැල් දුටු පසු ඒ මතට පක්ෂීහු පැමිණෙති. එසේ පැමිණෙන පක්ෂීන් දැලේ පැටලෙන අතර ඇතැම් විට ඇමටද හසු වී මියයයි. මේ හේතුව නිසා මරුවැල් භාවිතය රාත්‍රී කාලයට සීමා කරන ලෙසත්, මරුවැල් මත විදුලි බුබුළු භාවිත කිරීම සීමාකිරීම හා ජලය මතුපිට නොපෙනන අයුරින් දැල ස්ථානගත කරන ලෙසත් උපදෙස් දෙනු ලැබීය.
එම ජාත්‍යන්තර නිර්දේශ අනුව මරුවැල් භාවිතය නිසා පක්ෂීන්ට වූ තර්ජනය යම් තාක් දුරටක අවම කරගත හැකි වුවද මුහුදු ජීවින් ගණනාවකට සිදුවන හානිය අවම කිරීමට තවමත් හැකි වී නැත. ඒ අතර එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සමුද්‍ර ක්ෂීරපායි සම්මුතිය අනුව දඩයම් කිරීමට තහනම් වඳවී යන මත්ස්‍යයෙක් වන ඩොල්පින්ද මරුවැල් තර්ජනයට හසු ව සිටියි. එයට පිළියමක් වශයෙන් නව උපාංගයක් භාවිත කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව නිර්දේශ කර තිබේ.
බිලී කොකුවල තිබෙන ඇමට ආකර්ෂණය වන ඩොල්පින් එය ආහාරයට ගැනීමට පැමිණෙන නිසා බිලී කොකුවලට කොපුවක් Cliff හඳුන්වා දී ඇත. එමඟින් ඩොල්පින් මසුන් ඇම ඩැහැගත්තද ඔවුනට හානියක් සිදුවන්නේ නැත. ධීවර කටයුතු අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ මරුවැල්වල යොදා තිබෙන ඇම ආහාරයට ගැනීම සඳහා පැමිණෙන ඩොල්ෆින් මසුන් එම බිලී කොකුවලට හසුව මියයන බවය. “එනිසා මරුවැල් පන්න ක්‍රමයේදී යොදාගන්නා ඇමට ඩොල්ෆින් මසුන් ආකර්ශණය වීම වැළැක්වීමේ නව උපාංගයක් මේ වනවිට ජාත්‍යන්තර ධීවර කර්මාන්තයේදී භාවිතා කෙරෙනවා. එම උපාංගය වහාම මෙරටට ගෙන්වා ඒවා ධීවරයින් හට රජය විසින් නොමිලේ ලබාදීමට ලබන වසරේදී පියවර ගන්නවා.”යැයිද ඔහු කියා තිබිණි.
මරුවැල් පන්න ක්‍රමය ලාභදායි හා පහසු පන්න ක්‍රමයක් වුවද එමඟින් ජීවින්ට සිදුවන හානිය බහුල වේ නම් ඉදිරි කාලයේ දී මුලු ධීවර කර්මාන්තයම බිඳවැටෙන්නටද පුළුවන. එනිසා සාගර සම්පත්, මුහුඳු ජීවන්ට අවම හානිය සහතික කරමින් ධීවර කර්මාන්තයේ නියැලීම වර්තමානයටත් අනාගතයටත් ප්‍රයෝජනවත් වනු ඇතැයි අපි විශ්වාස කරමු. එනිසා ඩොල්පින් ආරක්ෂා කිරීමට අදාළ කොපුව වහාම ගෙන්වීමට කටයුතු කළ යුතුය. ඊට අමතරව මෙරට ධීවරයන් විසින් භාවිත කරන අනෙකුත් තහනම් පන්න ක්‍රමද තහනම් කර ඔවුන්ට ද නවීන තාක්ෂණය ලබාදීමට රජය ක්‍රියා කළ යුතුය.
I සකීෆ් සාම් තන්වීරි