2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

බොත්තම එබූ ගමන් කොන්ඩම්

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 742

කොන්ඩමය... අපි හැම කෙනෙක්ම පාහේ දන්නා එහෙත් දන්නා බව හැඟවීමට අකමැති මාතෘකාවකි. ඊට හේතුව වන්නේ කොන්ඩමය හෙවත් උපත් පාලන කොපුවට අපේ රට තුළ ගූඨත්වයක් ආරෝපණය කරදී තිබීම ය. මේ ගූඨබව නිසා ම කොන්ඩමය තවත් සාමාන්‍ය පාරිභෝගික භාණ්ඩයක් ලෙස බහුතරයක් දෙනා කල්පනා කරන්නේ ද නැත. ෆාමසියකට ගොස් කොන්ඩමයක් ඉල්ලීම බහුතරයකට ලජ්ජාවට කරුණකි. ෆාමසියට ගොඩවන්නට පෙර එහි සෙනඟ සිටී ද, කවුන්ටරයේ සිටින්නේ සේවිකාවක් ද යනාදී සියල්ල විමසා බලා ෆාමසියට ගොඩවීමට තරම් අපේ රටේ බහුතරයක් ඉන්නේ පසුගාමී මානසිකත්වයක ය. 

කෙසේ වෙතත් වෛද්‍ය නිර්දේශ අනුව කොන්ඩමය යනු වඩාත්ම ආරක්ෂිත උපත් පාලන ක්‍රමවේදයක් ලෙස හඳුන්වාදී තිබේ. අනෙත් අතට ලිංගික එක්වීමකදී වැළඳිය හැකි ඒඩ්ස් වැනි මාරාන්තික සමාජ රෝගවලින් ගැලවීමට ඇති ඇති එකම උපක්‍රමය ලෙසට හැඳින්වෙන්නේ ද කොන්ඩමය යි. එවන් ප්‍රයෝජනකාරී ද්‍රව්‍යයක් සමාජයේ ප්‍රචලිත වීම අඩුවීමේ එක් සාධකයක් ලෙස  මෙම කොන්ඩම් මිලදී ගැනීමේ ප්‍රශ්නය මතුකළ හැක.

එහෙත් මේ ප්‍රශ්නයට යම් ආකාරයක විසඳුමක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංවිධානය පෙරමුණ ගෙන තිබේ. ඒ ස්වයං සේවා කොන්ඩම් මැෂිමක් හඳුන්වා දීමෙනි. ස්වයං සේවා යන්ත්‍ර (Vending Machines) අපේ රට තුළ එතරම් ජනප්‍රිය නොවුණ ද විදේශ රටවල කෝපි, කෝලා, වතුර ආදිය ලබාගැනීම සඳහා එවැනි මැෂින් ජනප්‍රිය ය. එවැනි මැෂිමකින් කොන්ඩම් ලබාදීමේ වැඩපිළිවෙළකට පවුල් සැලසුම් සංවිධානය අතගසන්නේ රට තුළ කොන්ඩම් භාවිතය දියුණු කිරීම වෙනුවෙන් නවමු වැඩපිළිවෙළක් හඳුන්වාදීමේ අදහසිනි. එම සංවිධානය විසින් හඳුන්වාදෙන මෙම කොන්ඩම් මැෂිම පිහිටා ඇත්තේ කොළඹ බුලර්ස් පටුමගේ පිහිටි ඔවුන්ගේ කාර්යාලය අසල ය.

“අවුරුදු ගාණකට කලින් මේ විදිහේ මැෂින් අපේ රටේ තිබුණා. හැබැයි ඒ කාලේ තිබුණේ කාසි දාලා ගන්න විදිහට. නමුත් සංකල්පයක් විදිහට වෙන්ඩින් මැෂින්ස් එතකොට ජනප්‍රිය නැහැ. හැබැයි මේ වෙද්දි ATM එහෙම මිනිස්සුන්ට හුරුවෙලා තියෙන නිසා මේක ජනප්‍රිය වේවි කියලා අදහසකිනුයි අපි පටන් ගත්තෙ” යැයි එම සංවිධානයේ අලෙවි අධ්‍යක්ෂ සුහායිල් ජුනෙයිඩ් මහතා දේශය හා අදහස් දක්වමින් පැවසීය.

ඔහු සඳහන් කරන ආකාරයට මේ කොන්ඩම් මැෂිම සියයට සියයක් දේශීය නිෂ්පාදනයකි. පවුල් සැලසුම් සංවිධානයේ සංකල්පයක් අනුව මෙරට CBA නම් පෞද්ගලික සමාගම විසින් මෙම යන්ත්‍රය නිපදවා තිබේ. ඒ වෙනුවෙන් සිදුකර ඇති ආයෝජනය රුපියල් එක් ලක්ෂ අසූ දහසකි.

මෙහි කොන්ඩම් අලෙවි කරනු ලබන්නේ සුපුරුදු කොන්ඩම් සන්නාම ඔස්සේ ය. එසේ සන්නාම හරහා අලෙවි කිරීමේදී වැඩි පාරිභෝගික විශ්වාසයක් හිමිවීමත්, ඒ ඒ සන්නාමයන්ට හුරැවී සිටින පාරිභෝගිකයන්ට පවා කිසිදු ගැටලුවකින් තොරව යන්ත්‍රය භාවිත කිරීමේ අවස්ථාව උදාවීමත් ඊට හේතුවී තිබේ. තවද මේ හරහා කොන්ඩම් අලෙවි කෙරෙන්නේ ද සාමාන්‍ය වෙළෙඳපොළ මිල ගණන් යටතේ ය. 

“දැනට මේක ටෙස්ට් කරන්න අපි කිහිපදෙනෙක් පාවිච්චි කළා. හැබැයි ඊට අමතරව හැබෑම පාරිභෝගිකයෝ දෙතුන් දෙනෙකුත් මේ මැෂින් එක පාවිච්චි කරලා තියෙනවා. ඇත්තම කතාව අපේ රටේ මිනිස්සු ෆාමසියකට ගිහින් කොන්ඩම් එකක් ඉල්ලන්න ලැජ්ජයි. සමහරු ෆාමසිය වටේ කැරකෙනවා සෙනඟ අඩුවෙනකල්. ඔහොම ප්‍රශ්න තියෙනවා. ඒකයි අපි හිතුවෙත් මේ වගේ මැෂින් එකක් තිබ්බොත් ප්‍රයෝජනවත් වෙයි කියලා”. 

මෙම මැෂිම ක්‍රියාත්මක වන්නේ ජංගම දුරකථනය හරහා ය. එනම් මැෂිම ළඟට ගොස් පළමුවෙන්ම Enter බොත්තම එබූ විට ලබාගැනීමට අවශ්‍ය කුමන කොන්ඩමය දැයි තිරය හරහා විමසීමක් කෙරේ. මැෂිමේ පසෙක ඇති වීදුරුව හරහා එහි ඇති කොන්ඩම් වර්ග සහ ඒවාට නියමිත අංක සඳහන් අතර ඒ අනුව තමන්ට අවශ්‍ය අංකය තෝරා එය ඔබා තහවුරු කළ යුතුය. අනතුරුව අවශ්‍ය කොන්ඩම් පැකට් ප්‍රමාණය ඇතුළත් කළ යුතුය. ඉන් අනතුරුව තිරයේ නැඟෙන ප්‍රශ්නය වන්නේ ගෙවීම සිදුකරන්නේ අදාළ ගාස්තුව දුරකථන බිල්පතට එකතුවන ආකාරයට ද නැතහොත් ඊසි කෑෂ් ක්‍රමයට ද යන්න ය. එය ද තෝරා අවසන් කළ පසු ජංගම දුරකථන අංකය ඊට ඇතුළත් කළ යුතුය.

ඒ වහාම ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබේ. අදාළ ගනුදෙනුව තහවුරු කිරීමක් එම කෙටි පණිවුඩය හරහා අපේක්ෂා කෙරේ. ඒ තහවුරු කිරීම කළ විගසම මැෂිමේ පහත ඇති කවුළුවට කොන්ඩම් පැකට්ටුවක් වැටෙනු ඇත.

“විශේෂයෙන්ම කිව යුතු දෙයක් තියෙනවා. මේ මිලදී ගැනීම කොන්ඩම් මිලදීගැනීමක් ලෙස දුරකථන බිල්පතේ සටහන් වීමක් සිදුවෙන්නේ නැහැ. ඒ වගේම අපි කිසිම අයුරකින් පාරිභෝගිකයන්ගේ රහස්‍යභාවයට හානිකිරීමක් සිදුකරන්නෙත් නැහැ” ජුනෙයිඩ් මහතා කීය. 

මෙය ඇත්තෙන්ම බොහෝ සරල ක්‍රමවේදයකි. දැනට මෙහි වර්ග හයක කොන්ඩම් ලබාගැනීමේ හැකියාව ඇති අතර ඒවා රුපියල් 50 සිට 150 දක්වා විවිධ මිල පරාසයන් අතර පවතී. තවද දැනට මේ හරහා ගනුදෙනු කළ හැක්කේ ඩයලොග් ජංගම දුරකථන පාරිභෝගිකයන් සමඟ පමණක් වුව ද ඉදිරියේදී සියලු දුරකථන ජාල හරහා මෙම සේවය ලබාගැනීම පිළිබඳ සාකච්ඡා කෙරෙන බව ද ජුනයිඩ් මහතා අප සමඟ පැවසීය.

“මේක ලාභ ඉපැයීමේ අරමුණින් පටන් ගත් ව්‍යාපෘතියක් නෙමෙයි. අපිට අවශ්‍ය ජනතාවට සේවයක් වශයෙන් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටයි” ඔහු අවධාරණය කරසිටියේය. 

මෙය පවුල් සැලසුම් සංවිධානය විසින් ආරම්භ කරන ලද නියමු ව්‍යාපෘතියකි. මෙහි සාර්ථකත්වය පිළිබඳ නිසි තක්සේරුවකින් පසුව හඳුනාගත් ස්ථාන 10ක මෙවැනි කොන්ඩම් මැෂින් සවිකිරීමට ද එම සංවිධානය බලාපොරොත්තු වේ. එහිදී හික්කඩුව, මීගමුව වැනි සංචාරක කර්මාන්තය බහුලව ක්‍රියාත්මක ප්‍රදේශවල මෙන්ම පිටකොටුව බස් නැවතුම්පොළ හා දුම්රිය නැවතුම්පොළ වැනි ස්ථානවල ද ඉදිරියේදී මෙවැනි මැෂින් සවිවෙනු ඇත. 

රජිත ජාගොඩ ආරච්චි
සේයාරූ - සුමුදු හේවාපතිරණ