2017 ජුනි 24 වන සෙනසුරාදා

ආරක්ෂා කළ යුතු කාසල් හෝටලය දැන් බිම

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 207

කොළඹ කොම්පඤ්ඤවීදියේ පිහිටි ඓතිහාසික ගොඩනැගිල්ලක් අමෙරිකානු ඩොලර් මිලියන හාරසීයක් වටිනා නවීන පන්නයේ ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීම සඳහා බිමටම සමතලා කරනු ලැබ තිබේ. මෙම නව ගොඩනැගිල්ල ඉදිකරනු ලබන්නේ ටාටා හවුසින් නම් සමාගමක් විසිනි.

කොම්පඤ්ඤවීදියේ මස්ජිදුල් ජමෙයි පාරේ පිහිටි කාසල් හෝටලය මෙම පෞරාණික ගොඩනැගිල්ලයි. වසර 140ක් පැරැණි එම ගොඩනැගිල්ලේ එකද ගල් කැටයක් හෝ අද වනවිට දකින්නට නැත. එම ලිපිනයේ කිසිදු ගොඩනැගිල්ලක ලකුණක් හෝ දැනට නැත. මෙම රමණීය ගොඩනැගිල්ල බ්‍රිතාන්‍ය පාලන සමයේ එම සම්ප්‍රදායට අනුකූලව ඉදිකරන ලද්දකි. එය කඩාබිඳ ඇත්තේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පසුගිය මැයි මාසයේ ලබාදෙන ලද අවසරය මතය.
මහා පරිමාණ දානපතියකු වූ චාල්ස් හෙන්රි ද සොයිසා විසින් ගොඩනැගු කාසල් හෝටලය පසුගිය කාලයේදී විවිධ ව්‍යාපාරික කටයුතු සඳහා කුලී පදනම මත ලබාදී තිබේ. එහි අවසන් නේවසිකයකු වන්නේ මහින්ද පෙරේරාය. ඔහු තම පියාණන් වූ ඩග්ලස් ජස්ටස් කරගෙන ආ ආකාරයටම වැඩකරන ජනතාවගේ බාර් එකක් පවත්වාගෙන ගිය අතර ඉහළ මාලයේ කාමර කුලියට දුන්නේය.

මෙකී දේපළට සහ ඊට යාබද ද සොයිසා ගොඩනැගිල්ලට අදාළ ඔප්පු චාල්ස් මහතාගෙත් පැවැත එන්නන් සතුය. ඔහුගේ මී මුණුපුරන් මී මිණිපිරියන් වන රනිල්, මාලතී නැසීගිය ගීතාල් හා ජයලත් එම උරුමක්කාරයෝ වෙති. මෙම භූමියේ තමන්ගේම ව්‍යාපෘතියක් සිදුකිරීමට එම පවුලට අවශ්‍යතාවයක් තිබිණි. 90 දශකයේදී රනිල් ඒ සඳහා අමෙරිකානු ආයෝජකයෙක් ද සොයාගත්තේය.

“අපට ලංකාවේ පළමු නිවුන් මහල් ගොඩනැගිල්ලේ හිමිකරුවා වීමට අවස්ථාව ලැබීමට ඉඩක් තිබුණා.” ඔහු මහත් ප්‍රමෝදයෙන් සඳහන් කරයි.

එම යෝජනාව අතහැර දැමීමට සිදුවූයේ එම ගොඩනැගිල්ලට අත තැබිය නොහැකි බවට දිගින් දිගටම බලාධිකාරීන් විසින් ප්‍රකාශ කිරීම හේතුවෙනි. එහි බදුකරුවන්ට වරක් උපදෙස් ලැබී ඇත්තේද කාසල් හෝටලය පෞරාණික වටිනා ගොඩනැගිල්ලක් හේතුවෙන් එහි පිටත විවිධාකාරයන්ට වර්ණාලේප නොකරන ලෙසය. එසේම එහි ව්‍යුහය වෙනස් නොකරන ලෙසටය. අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණවලට පමණක් අවසර දී තිබුණි.

මේ නිසා මෙම දර්ශනීය ගොඩනැගිලි පරිශ්‍රය සොඳුරු වැදගත් වයින් බීම හලක් සහ බ්‍රිතාන්‍ය ක්‍රමයේ මත්පැන් හලක් බවට පත්කිරීමට රනිල් සිහින මැවීය. ගොඩනැගිල්ලේ එවැනි වෙනස්කම් සඳහා ඉඩ ලැබෙනනේනම් එය සැලසුම් කිරීමට ඔහු අදහස් කළේය. ඊට පෙර එහි සිටින කුලීහිමියා ඉන් ඉවත් කිරීමට සිදුව තිබුණි. එහෙත් එය ක්‍රියාත්මක කිරීමට නොහැකි විය.

2012 නසරේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නාගරික සංවර්ධන ව්‍යාපෘති (විශේෂ විධිවිධාන) යටතේ නිකුත් කළ නියෝගයකින් එම ගොඩනැගිල්ල පවරා ගනුලැබීය. එම භූමිය ද ඒ සමඟ පවරා ගැනිණි. ඒ සමඟම මහින්ද පෙරේරාටද තමන් පවත්වා ගෙනගිය බාර් එකේ මෙහෙයුම් කටයුතු නැවැත්වීමට සිදුවූ අතර ද සොයිසාවරුන්ටද ඔවුන්ගේ දේපළ අහිමි විය. මේ දක්වා එම පවුලේ කිසිවකුටවත් වන්දි වශයෙන් සතයක්වත් ලැබී නැත.

කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය අධ්‍යාපන අංශයේ සහකාර කථිකාචාර්යවරියක වන දෙබෝරා ෆිලිප්ස් කාසල් හෝටලය පවරා ගැනීමෙන් පසුව සිදුවී ඇත්තේ කුමක්ද යන්න පිළිබඳව සැලකිලිමත් වීය. ටාටා හවුසින් සමාගම විසින් එම භූමි ප්‍රදේශය අමෙරිකානු ඩොලර් මිලියන හාරසීයකට මිත්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා වෙන්කරගෙන ඇතැයි එහිදී දැනගන්නට ලැබිණි. යාබද ඉඩම් ද හෙළිපෙහෙළිකර තිබූ අතර තමන්ගේ ව්‍යාපෘතිය හේතුවෙන් ගෙවල් අහිමි වන පවුල්වලට එම ඉඩම්වල නිවාස ඉදිකර දීමට සැලසුම් සකසා තිබේ.

2016 පෙබරවාරි මාසයේදී ඇය කාසල් හෝටලයේ ඓතිහාසික වැදගත්කම යළි හුවාදක්වමින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට ලිපියක් යොමු කළාය. මෙම ගොඩනැගි‍ල්ලේ මුල්ම වකවානුවේදී “cave and company” නම් සමාගමක් තිබිණි. එය එච්.ඩබ්ලිව්. කේව් නම් ව්‍යාපාරිකයා විසින් අරඹන ලද කොළඹ ප්‍රසිද්ධ ව්‍යාපාරයකි. කේව් නැමැත්තා එංගලන්තයේ සිට මෙරටට පැමිණ ඇත්තේ 1872 වසරේදීය.

“කෙසේ වුවද මෙහි වත්මන් කුලී පදිංචිකරුවන් ප්‍රකාශ කර තිබුණේ මෙම ගොඩනැගිල්ල 1875 වසරේදී හෝටලයක් බවට පත්කරනු ලැබූ බවය. ඒ අනුව මෙම ගොඩනැගිල්ල අවම වශයෙන් වසර 141වත් පැරැණි බව” ලිපියේ සඳහන් වේ.

ෆිලිප්ස් මෙනවිය මෙම ලිපියෙන් තවදුරටත් සඳහන් කරනුයේ කාසල් හෝටලයට කුමක් සිදුවේද යන්න සොයාබැලීමට දැරූ උත්සාහය ව්‍යාර්ථ වී ගිය බවය. ටාටා හවුසින් සමාගම විසින් එය සේවකයන් සඳහා කාර්යාල සංකීර්ණයක් වශයෙන් පවත්වාගෙන යනු ඇති බවට කතාවක්ද තිබුණි. නමුත් එවැන්නක් ක්‍රියාත්මක කරන්නටනම් එම ස්ථානයේ පදිංචි විය හැකි මට්ටමට සකස් කිරීම් සඳහා ප්‍රතිසංස්කරණ රාශියක් සිදු කිරීමට අවශ්‍යය.

“වත්මන් කුලී නිවැසියන් ප්‍රකාශ කර ඇත්තේ පුරා විද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් වරින් වර කාසල් හෝටලයට පැමිණ තමන්ට උපදෙස් ලබාදුන් බවය. මෙම ගොඩනැගිල්ලේ පුරා විද්‍යා වටිනාකම හේතුවෙන් ඔවුන්ට සිදුකළ හැකි අලුත්වැඩියා කටයුතු සහ කළ නොහැකි කටයුතු සම්බන්ධව උපදෙස් දී තිබෙනවා.” ෆිල්ප්ස් මෙනවිය දෙපාර්තමේන්තුවට දන්වා තිබේ.

පුරා විද්‍යා පනතට අනුව සහ ඇය කළ ඉල්ලීම ඇතුළත් ලිපියට ප්‍රතිචාර දක්වමින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව එකී ගොඩනැගිල්ල පරීක්ෂා කිරීම සඳහා කණ්ඩායමක් එවනු ලැබීය. ඔවුන් ලබාදුන් තොරතුරු අනුව 2016 ජුනි මාසයේදී පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සෙනරත් දිසානායක නාගරික සංවර්ධන අධ්‍යක්ෂකට ලියා දැක්වූයේ වසර 141 පැරැණි කාසල් හෝටලය සංරක්ෂණය කළයුතු බවට තම නිලධාරීන් තීරණය කර ඇති බවය. ටාටා හවුසින් ව්‍යාපෘතියේ සුපරීක්ෂා කටයුතු පැවරී ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියටය.

“එහි වාස්තු විද්‍යාත්මක සංකල්පය බ්‍රිතාන්‍ය යුගයට අයත් බව පෙනෙන්නට තිබෙනවා.” ආචාර්ය දිසානායක සඳහන් කර තිබුණි.

මේ හේතුවෙන් ගොඩනැගිල්ලේ ඓතිහාසික සහ වාස්තු විද්‍යාත්මක වටිනාකමකින් යුත් ව්‍යුහයට හානියක් සිදුවිය හැකි කිසිදු වෙනස්කමක් නොකළ යුතු බවට අදාළ ආයතනවලට උපදෙස් ලබාදිය යුතුයැයි ද ආචාර්ය දිසානායක ඉල්ලීමක් කර තිබුණි.

ටාටා සමාගම විසින් අදාළ ගොඩනැගිල්ල සංවර්ධන කිරීම සිදුකරද්දී ටාටා සමාගමට එම උපදෙස් අධිකාරිය මගින් ලබාදිය යුතු බව ඔහු සඳහන් කර තිබුණි.

නමුත් 2017 මැයි මාසයේදී ඇඳහැළුණු මහා වැසි ගංවතුර නායයාම් මධ්‍යයේ කාසල් හෝටලය ද අවසන් ගමන් ගොස් තිබිණි. පසුගිය සතියේ නාගරික සංවර්ධන අධිකාරිය පවසා තිබුණේ ගොඩනැගිල්ල ගලවා ඉවත්කිරීම සඳහා ලිඛිත අවසරයක් ලබාදී ඇති බවය. කථිකාචාර්යවරිය ද එය තහවුරු කරයි.

නමුත් 2016 ජූනි සිට 2017 මැයි දක්වා කාසල් හෝටලය සංරක්ෂිත ස්මාරකයක් වශයෙන් ගැසට් කිරීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කිසිදු පියවරක් ගෙන නොතිබුණි. මේ නිසා ගොඩනැගිල්ල බිමට සමතලා කිරීමේදී කිසිදු බාධාවක් එල්ල නොවීය.

1815 මාර්තු 2 දිනට පෙර ඉදිකරන ලද ස්මාරක නිතැනින්ම සංරක්ෂණය වියයුතු බව පනතේ සඳහන්ය. එකී දිනට පසුව ඉදිකිරීම් සම්බන්ධයෙන් අදාළ ඇමතිවරයා ගැසට් නිවේදනයකින් එවැනි සංරක්ෂිත ස්ථාන ප්‍රකාශ කළ යුතුය. මේ අනුව කාසල් හෝටලය සංරක්ෂණය කිරීමට සුදුසුකම් සපුරා තිබුණ ද පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පසුව එම තීරණය වෙනස් කර තිබේ.

ටාටා හවුසින් සමාගමේ ප්‍රකාශකයෙක් සඳහන් කරනුයේ එහි ව්‍යාපෘතිය තවමත් පවතින්නේ සැලසුම් තත්ත්වයේ බවය. එම පරිශ්‍රයේ කිසිදු ඉදිකිරීමක් තවමත් කර නැති බවය. එය සත්‍යයකි.

නාගරික සංවර්ධන පවසනුයේ අදාළ ලේඛන කටයුතු සම්පූර්ණ වීමට ආසන්න බවය. කාසල් හොටල් පරිශ්‍රයේ ටාටා සමාගම කුමක් ඉදිකළත් එහි පළමු මහල් දෙක පැරණි ගොඩනැගිල්ලේ ශ්‍රී විභූතිය සහ බාහිර පෙනුම රැකෙන පරිදි ඉදිකරන බවද ඔහු සඳහන් කෙරේ.

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ (ව්‍යාපෘති කළමනාකරණ) අවධාරණය කරනුයේ අලුත් ගොඩනැගිල්ලට සැලසුම් සකස් කිරීමේදී පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබාගත් බවයි. එහි පදිංචිකරුවන් විසින් කිසිදු නඩත්තු කටයුත්තක් නොකර සිටීම හේතුවෙන් එහි ඇතුළත් ඉතා අබලන් වී ගොඩනැගිල්ල කඩාවැටීමට ආසන්න තත්ත්වයේ තිබූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. නමුත් විස්මයට කරුණ නම් කාසල් ගොනැගිල්ලේ පෞරාණික වටිනාකම සඳහන් කරමින් පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා විසින් එවන ලද ලිපිය නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති කළමනාකරණ අධ්‍යක්ෂවරයාට නොලැබීමය.

Sunday Times හි පළවූ ලිපියක් ඇසුරෙනි.
♦ දිශානි ජයමාලි කරැණාරත්න