2018 මාර්තු 03 වන සෙනසුරාදා

හර්නියා අවදානම අඩුකර ගන්න...

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 3359

වර්තමානයේදී හර්නියා රෝග තත්ත්වය වැළඳී ඇති පුද්ගලයන් සුලභවය. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ අන්ත්‍ර වෘද්ධි ලෙස මෙම රෝග තත්ත්වය විස්තර කර ඇත. ශරීරයේ ඕනෑම ස්ථානයක පවතින අවයවයක් හෝ අවයව කිහිපයක් එය ආවරණය කරගෙන ඇති පටල ස්ථරය හරහා පිටතට නෙරා ඒම හර්නියා තත්ත්වය ලෙස සරලව හැඳින්විය හැක. නමුත් මෙය බහුලව දක්නට ඇත්තේ උදරය ආශ්‍රයෙනි. උදරයේ ඇතුළත ඇති අවයව උදර බිත්තියේ දුර්වල පටල ආවරණයක් ඇති ස්ථානයකින් නෙරා ඒම සිදුවේ. 

මෙයට බොහෝ හේතු බලපායි. යම් පුද්ගලයකුගේ උපතේදීම උදර බිත්තිය දුර්වල වී තිබිය හැක. මීට අමතරව ඇති ස්ථුලතාවය නිසා උදර බිත්ති දුර්වලවීම, දරු ප්‍රසූති කිහිපයකින් පසු උදර බිත්තියේ මාංශ පේශි දුර්වල වීම ආදී හේතු දැක්විය හැකියි.

කාලීනව පවතින මළබද්ධය, වෙනත් රෝග තත්ත්ව නිසාද, විශේෂයෙන් දුම්පානයට ඇබ්බැහි වූවන්ගේද මාංශ පේශිවල ශක්තිමත්භාවය අඩුවීම හේතුකොටගෙන හර්නියා තත්ත්ව ඇතිවීමේ ඉඩකඩ වැඩිය. කාන්තාවන්ට හා පුරුෂයන් යන දෙපාර්ශ්වයටම හර්නියා තත්ත්ව ඇතිවිය හැක. වැඩි වශයෙන් හර්නියා ඇතිවන්නේ ඉකිලි හා නාභිය, නාභියට ඉහළින් හා බඩේ කැපුම් ආශ්‍රිතවය.

උප්පත්තියෙන්ම (Congenital) හර්නියා තත්ත්ව ඇතිවන අවස්ථාද දක්නට ලැබෙයි. විශේෂයෙන් නාභිය ඉහළින් හා නාභිය ආශ්‍රිතව ඇතිවේ. උදරයේ යම් ස්ථානයක අසාමාන්‍ය නෙරා ඒම, යම්කිසි බරක් ඔසවන විට හෝ කැස්සක් සමඟ උදරයේ පීඩනය වැඩි වනවිට සම නෙරා යාම වැඩිවීම. මේ නිසා සුදුසුකම් ලත් වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කර ගැනීම ඉතා වැදගත් වේ.

බහුලව දක්නට ලැබෙන්නේ Inguinal Hernia නම් අවස්ථාව බැවින් වෘෂණ (Groin) ප්‍රදේශයේ වේදනාව හා ඉදිමුම, වෘෂණ කෝෂවල ඉදිමීම ද දක්නට ලැබේ.
බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව මේ සඳහා එකම පිළියම වන්නේ ශල්‍ය කර්මයයි. මෙහිදී බොහෝවිට ස්ථීර කෘත්‍රිම දැලක් (Mesh repair) උදරයේ දුර්වල ස්ථාන ආවරණය වන ආකාරයට යොදයි. වර්තමානයේදී ඉතා පහසුවෙන් රෝගියාට සිදුවන අපහසුතාවය අවම වන ලෙස මෙම ශල්‍යකර්මය සිදුකිරීමේ පහසුකම් ඇත. රෝගියාගේ විවිධ චර්යාවන්ගේ වැරදි හේතුවෙන් ශල්‍ය කර්මය අසාර්ථක වන අවස්ථාද ඇත.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව හර්නියා රෝගයට ප්‍රතිකාර ඇත. නමුත් ඒ සඳහා අත් බෙහෙත් නොකොට ඉතා ඉක්මනින් සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුය. රෝගියාගේ රෝග තත්ත්වය අනුව වෛද්‍යවරයා විසින් රෝගය තීරණය කෙරේ. මූලික රෝග තත්ත්වය හඳුනා ගැනීමෙන් ඇතිවන අවදානම් තත්ත්වය මඟ හරවා ගැනීමට පුළුවනි.

අධික තරබාරුව පාලනය කළ යුතුවේ. ඒ සඳහා සුදුසු ආහාර රටාවන්ට හුරුවීම ව්‍යායාම්වල යෙදීම අනිවාර්ය වේ. මව්වරු දරු ප්‍රසූතියෙන් පසුව උදර පේශි ශක්තිමත් කරගැනීමට උනන්දු විය යුතුය. ඒ සඳහා සුදුසු ව්‍යායාම්වල නිරතවන්න. එමෙන්ම උදර පීඩනය වැඩිවන කාලීන කැස්ස, මළබද්ධය වැනි තත්ත්වයන් සඳහා නිසි ප්‍රතිකාර ලබා ගැනීම කළ යුතුය. අධික බර භාණ්ඩ එසවීම, රෝගී තත්ත්වයන්ට ගොදුරු වූවන්ට අහිතකරයි. එමෙන්ම මත්පැන් පානයෙන්ද වැළකී සිටීම අවශ්‍යය.

කුමුදුනී ද සිල්වා
ආයුර්වේද වෛද්‍ය
සෙත්සුව ආයුර්වේද රෝහල

 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00