2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

එක කාලයකදී මමත් පෙම්වතියක්

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:31 417

චතූ.. අපිට ඔයා ගැන විස්තර ටිකක් කියන්න..?
මගේ නම චතූ රාජපක්ෂ. මම ඉපදුණේ බදුල්ලෙ. මගේ පවුලේ ඉන්නෙ මමයි අම්මයි අප්පච්චියි අක්කයි නංගියි මල්ලියි. මම පවුලේ දෙවැනියා. මගේ අම්මා කාලයක් සේවය කළේ පිටරට. අක්කා විවාහවෙලා පදිංචිවෙලා ඉන්නෙ බිබිලෙ. ඒ නිසා ගෙදර හැමෝම දැන් පදිංචිවෙලා ඉන්නෙ බිබිලෙ.

චතූ පුංචි කාලේ මොනවගේ චරිතයක්ද..?
පුංචි කාලෙ මම හරිම දඟයි. අම්මා කියන විදිහට මම දෙයක් කිව්වොත් ඒක කොහොමහරි කරලා තමයි ආයෙ නවතින්නෙ. සමහර වෙලාවට මම පිරිමි ළමයෙක් කරන දඟ වැඩත් කරනවලු. අක්කා නංගි මල්ලි එක්ක ගත කරපු ඒ ළමා කාලයට මම ගොඩක් ආදරෙයි.

පුංචි කාලෙ ඔයා ආස කළේ කවුරු වෙන්නද..?
මම පුංචි කාලෙ ආස කළේ නැටුම් ගුරුවරියක් වෙන්න. අපේ පුංචිට ලස්සනට නටන්න පුළුවන්. එයා ඒ කාලේ ගමේ ළමයි කට්ටිය එකතු කරගෙන අපේ මිදුලෙ නැටුම් පන්තියක් පවා පැවැත්වුවා. පුංචි ඒ ළමයින්ට නැටුම් උගන්වද්දී මම හරිම ආසාවෙන් ඒ උගන්වන දිහා බලාගෙන ඒ නැටුම් අඩි තාලයට තියන්න පුරුදු වුණා. මෙහෙම හොරෙන් ඉගෙන ගනිද්දී පුංචි මාව ළඟට ගෙන්වගෙන නැටුම් කියලා දුන්නා. ඒ නිසාම මම කුඩා කාලෙදී නැටුම් ගුරැවරියක් වෙන්නයි ආස කළේ. අපේ අප්පච්චිගේ පවුලේ අයට හොඳට සින්දු කියන්න පුළුවන්. ඒ නිසාම මම නර්තනයට වගේම ගායනයටත් කැමැත්තක් දැක්වුවා.

ඉගෙන ගත්තෙ මොන පාසලේද..?
මම ඉගෙන ගත්තෙ බදුල්ල නන්නපුරාව මධ්‍ය මහා විද්‍යාලයෙ. ඉස්කෝලෙදිත් මම නර්තනයට ගායනයට වගේම ක්‍රීඩාවටත් දස්කම් දැක්වුවා. ඒ තරගවලට සම්බන්ධ වුණා. ඉස්කෝලෙත් මම ටිකක් දඟකාර චරිතයක්. 

බදුල්ලෙ හිටපු චතූ කලාවට සම්බන්ධ වුණේ කොහොමද..?
පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ මම පෞද්ගලික ආයතනයක සේවයට කොළඹ ආවා. ඒ ආයතනයේ හිසතෙල් ගෑමේ උත්සවයකදී තමයි මට රංගනයට අවස්ථාව ලැබුණෙ. වී. ශිවදාසන් මහතාගේ පාටක් නැති ආදරයක් චිත්‍රපටයේ ප්‍රධාන නිළියගේ යාළුවගේ චරිතය රඟපාන්න මට අවස්ථාව ලැබුණා. ඒ චිත්‍රපටය තාම තිරගත වුණේ නැහැ. ඊටපස්සෙ කොළඹ අපි ආවා, ටෙලිනාට්‍යයෙත් රතු පිච්ච ටෙලිනාට්‍යයෙත් ආදරය ගින්දරක් ටෙලිනාට්‍යයෙත් රඟපාන්න අවස්ථාව ලැබුණා.

රැකියාවකට කොළඹ ආපු චතූ රංගනයට දායක වෙනවට ගෙදරින් කැමති වුණාද..?
මුලදිනම් ගෙදරින් අකමැති වුණා. ඒකට ප්‍රධානම හේතුව වුණේ සමහර කලාකාරියන් නිසා සමාජයේ ඇතිවෙලා තිබුණු මතයයි. නමුත් මම ඒ අයට ඒ හැමදේම තේරුම් කරලා දුන්නා. මගේ ආසාවත් එක්කම මට මොකක්හරි පොඩි හැකියාවක් තියෙනවා කියලා දැනගෙන අම්මා මට ඒකට ආශිර්වාද කරලා කැමැත්ත දුන්නා. දැන් අම්මගෙයි අප්පච්චිගෙයි ආශිර්වාදය මට හැම මොහොතෙම ලැබෙනවා. ඒ ආශිර්වාදය මට ලොකු හයියක්.

ටෙලිනාට්‍ය රංගනයට අමතරව චතූ තරගාවලියකටත් සම්බන්ධවෙලා ජයග්‍රහණයකුත් ලබාගත්තා..?
ඔව්.. සිරස නාලිකාවේ විකාශය වුණු රතු පිච්ච^ටෙලිනාට්‍ය කරද්දීම මට සිරස ෆිල්ම් ස්ටාර් තරගයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ෆිල්ම් ස්ටාර් තරගයට මාව සම්බන්ධ කළේ ෂෙනාල් මද්දුමගේ අයියා. ඒක අධ්‍යක්ෂණය කළේ ඉරුෂ ද සිල්වා. ඒ තරගාවලියේ එක් අවස්ථාවකදී මම හොඳම සටන්කාරිය ලෙසත්, හොඳම රංගන ශිල්පිනිය ලෙසත් සම්මාන දෙකක් ලබාගත්තා. අවසන් තරගයේදී දෙවැනි ස්ථානයත්, හොඳම රුවැත්තිය ලෙසත් සම්මාන දිනාගන්න මට අවස්ථාව ලැබුණා.

මේ දවස්වල චතූ පුංචි තිරයෙන් දැකබලාගන්න පුළුවන්. ලැබෙන ප්‍රතිචාර කොහොමද..?
ප්‍රතිචාර හොඳයි. මේ දිනවල සුපුන් රත්නායකගේ අඩෝ ටෙලිනාට්‍යයෙත් සමීර හසුන් අධ්‍යක්ෂණය කරන ක්වීන් ටෙලිනාට්‍යයෙත් රංගනයේ යෙදෙනවා.

මේ වෙනකොට ඔබ පෙම්වතියක්ද..?
කාලයක් මම පෙම්වතියක් වෙලා හිටියා. හැබැයි දැන්නම් පෙම්වතියක් නෙමෙයි.

ඉදිරි බලාපොරොත්තු මොනවද..?
එහෙම මට කවදාවත් ලොකු ලොකු බලාපොරොත්තු තිබුණෙ නැහැ. හැමදාම කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙන්න ආසයි. හොඳ නිර්මාණවලට දායකවෙලා කලා ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න ආසයි. 

 

► Text - Dishani  /   Pic - Sumudu