ගිය සතියේ සරුංගල් අහසක් යට හැන්දෑවක් ගතකරපු අපි මේ සතියේ ඔයත් එක්ක යන්න හිතුවෙ නාමල් උයනට ගිහින් එන්න. මතකනේ අපි මීට සති ගණනකට කලින් අනුරාධපුරේ ගියා. අනුරාධපුරේ ඉඳන් එද්දී තඹුත්තේගම පාරේ තමා නාමල් උයන තියෙන්නේ. වනවාසී රාහුල හිමියන් වැඩහිඳින නාමල් උයන දෙස් විදෙස් සංචාරකයන් අතර ආකර්ෂණීය සංචාරක ස්ථානයක් බවට පත්වී තියෙන්නේ රෝස තිරුවාණ කන්ද නිසා කියලා කීවොත් හරියටම හරි.
කාලයත් එක්ක රෝස තිරුවාණ කන්දේ රෝස පාටනම් දැන් ටිකින් ටික හේදිලා ගිහින්. ඒත් අව්ව කන්ද මත නොවැටෙන වෙලාවක මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 150 – 300ත් අතර උසකින් පිහිටි දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවාණ කඳුවැටිය තමා ජාතික නාමල් උයනේ පිහිටලා තියෙන්නේ. වසර කෝටි ගණනක කාලයක සිට ස්වභාවධර්ම පරිණාමයේ එක් ප්‍රතිඵලයක් විදිහට මෙම රෝස කඳුවැටිය හඳුන්වන්න පුළුවන්. වසර දසදහස් ගණනක් තිස්සේ අව්වට වැස්සට වේලෙමින් තෙමෙමින් ලක්ෂ ගණනක් මිනිසුන්ගේ ඇස්පිහාටු මේ රෝස තිරුවාණ කඳුවැටිය අපට අනිත්‍යතා ධර්මතාවය ගැන කදිම පාඩමක් කියාදෙනවා. එදා කඳුවැටිය පුරා විසුල රෝස පැහැය අද වියැකී ගිහින්.
කොබ්බෑ, හොඬල, ගැරඩිදුල්, දුබඩ, අහිල්, මයිල, කැටකලා, දියමිත්ත, යක්බේරිය, කැප්පෙටිය, කප්පරවල්ලිය, රදලිය, රක්මාතිස්ස, හීරැස්ස, හම්පිල කුණුමැල්ල, කළුමැදිරිය, නුග, මකුලු, වල්පිච්ච, කෙටල, නා, කුරටියා, දවුල් කුරුඳු, විෂ්ණු ක්‍රාන්ති වගේ ශාක විශේෂත් වී කුරුල්ලා, හබන් කුකුළා, කොහා, අළුගිරවා, වලිකුකුළා ආදී කුරුලු විශේෂත් රුසක් මේ මහා වනාන්තරයේ ඉන්නවා.
නිස්කලංකව ඇවිදලා එන්න වෙලාවක් තිබුණොත් යන්න රෝස තිරුවාණ කන්ද නැඟලා එන්න.
එන සතියෙත් අපි යමු කොහේහරි ඇවිදින්න.
► Text -Saa / Pic - Channa Kassapa Koralearachchi