2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

පුංචි පත්තරකාරිට තාම පෙම්වතෙක් නැහැ

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 329

මිෂෙල්... අපිට ඔයාගෙ විස්තර ටිකක් කියන්නකො...?
මගේ ගම මීගමුව. මම ඉගෙන ගත්තෙ මීගමුවේ නිවුස්ටඩ් බාලිකා විද්‍යාලයෙ. මගේ පවුලේ ඉන්නෙ අම්මයි තාත්තයි නංගිලා දෙන්නයි විතරයි. මම තමයි පවුලේ වැඩිමලා.

පුංචි කාලේ ඔබ කවුරු වෙන්නද හීන දැක්කෙ...?
පුංචි කාලෙදී මට හීන දෙකක් තිබුණා. මුලින්ම මම ගුරුවරියක් වෙන්න හීන දැක්කා. ගොඩක් පුංචි කාලේ ඉඳලාම මගේ ලෝකෙ ගුරුවරිය කියන චරිතය තිබුණා. අම්මගේ සාරි ඇඳගෙන පොත් අරගෙන ඉස්සර මම ගුරුවරියක් වගේ රඟපානවා කියලත් මගේ අම්මා මට කියලා තියෙනවා. ඊටපස්සෙ මම නිළියක් වෙන්නත් ආසා කළා. හැබැයි අද වෙද්දී යන්තමින් හෝ ඒ චරිත දෙකම වෙන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා.

මම මගේ වැඩේ කරගෙන මගේ පාඩුවේ හිටියා

ඒ කියන්නෙ නිළියක් වගේම දැන් මිෂෙල් ගුරුවරියක්.. එහෙමද..?
ඔව්... මම මේ කලා ක්ෂේත්‍රයට එන්නත් කලින්ම ළමා නිවාසයක ස්වේච්ඡා ගුරුවරියක් විදිහට වැඩ කළා. එහෙම කරන්න කවුරුත් මට කිව්වෙත් නැහැ. හැබැයි අම්මයි තාත්තයි මට මොන දෙයට සම්බන්ධ වෙන්නත් කලින් උසස් පෙළ වෙනකම් හොඳට ඉගෙන ගන්න කියලා කිව්වා විතරයි කිව්වේ. ඊට අමතරව කවදාවත්ම මගේ අම්මයි තාත්තයි කිසිමදෙයකට මට බලකළේ නැහැ. මගේ කැමැත්තට හොඳ විදිහට කරන්න කියලා තමයි මට කිව්වේ. ඉතින් ඒ ළමා නිවාසයේ ස්වේච්ඡා ගුරුවරියක් විදිහට මම ගියෙත් මගේ කැමැත්තෙන්. ඒ දරුවන්ට උගන්වද්දී ලැබෙන තෘප්තියට මම හරි ආසයි. ඒ ගිහින් එයාලට ඉංග්‍රීසි උගන්වද්දී මම ගොඩක් ඒ අයට ළංවුණා. ඒ හරහා මම මගේ ගුරුවරියක් වීමේ සිහිනය සැබෑකරගත්තා.

පුංචි කාලේ මිෂෙල් මොනවගේ චරිතයක්ද...?
පුංචි කාලේ මම ගොඩක් නිහඬ චරිතයක්. වැඩිය කාත් එක්කවත් කතා කරන්නෙ නැහැ. මෑතක් වනතුරුම මගේ ඒ චරිතය තමයි තිබුණේ. මගේ නංගිලා දෙන්නා එහෙම නැහැ. මට වඩා ඒ දෙන්නා දඟයි. මම මගේ වැඩේ කරගෙන මගේ පාඩුවේ හිටියා. ගෙදරට කවුරැහරි ආවත් මම ඉස්සරහට ගිහින් කතා කළේ නැහැ. හැබැයි මම උසස් පෙළ කළාට පස්සෙ අනෝජා වීරසිංහ මැඩම්ගේ අභින පන්තිවලට සහභාගි වුණා. එතැනදී තමයි අනෝජා මිස් අපිට සමාජයත් එක්ක හැසිරෙන විදිහ, බය නැතිව කතා කරන විදිහ වගේ බොහෝ දේවල් කියලා දුන්නෙ. එතැන තමයි මගේ මේ ජීවිතේ හැරවුම වුණේ.

මාව හිරකරගෙන තහංචි දාගෙන ඒ අය මාව බලාගත්තෙ නැහැ

ඔබ කලාවට සම්බන්ධ වුණේ කොහොමද...?
අනෝජා මිස්ගේ සෙවණැල්ල තමයි කලා ජීවිතේ මගේ ආරම්භය වුණේ. ඊටපස්සෙ මට දමයන්ති ෆොන්සේකා මැඩම්ගේ පන්තිවලට යන්න අවස්ථාව ලැබුණා. ඉන්දියාවේ නාට්‍ය හා රංග කලාව අධ්‍යක්ෂකවරයෙක් යටතේ ලංකාවේ පැවැත්වූ වැඩමුළුවකට සහභාගී වෙන්න මට අවස්ථාව ලැබුණා. ඊටපස්සෙ තමයි මම සුසිල ආයතනයට බැඳිලා සල් සපු නා ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණේ. සන්ධ්‍යා මෙන්ඩිස් මැඩම් සහ නාලන් මෙන්ඩිස් සර් තමයි සල් සපු නා ටෙලිනාට්‍යයේ පුංචි පත්තරකාරිගේ චරිතය මට ලබාදුන්නෙ. ඒක තමයි මගේ පළමු ටෙලිනාට්‍ය වුණේ.

මේ දවස්වල මිෂෙල් මොනවද කරන නිර්මාණ...?
මේ දවස්වල පූරි ටෙලිනාට්‍යයෙත්, දංකුඩ බණ්ඩා සහ තුත්තිරි ටෙලිනාට්‍යවල රූපගත කිරීම් කරනවා. පූරි ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂක රනිල් කුලසිංහ, දංකුඩ බණ්ඩා ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂක ප්‍රියන්ත සමරකෝන් වගේම තුත්තිරි ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂක සංජය තිරිමාල් මහත්වරු මට මේ චරිත කරන්න ලොකු සහයෝගයක් ලබාදෙනවා. ඊට අමතරව සුනිල් කොස්තා මහතාගේ සුදු ඇඳගෙන කළු ඇවිදින් කියන ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට මට අවස්ථාව උදාවුණා. ඒක ළඟදීම රෑපගත කිරීම් කරන්න පටන් ගන්නවා. ඒක අම්මා කෙනෙකුයි දුවෙකුයි අතරේ තියෙන ලස්සන කතාවක්. ඒකෙ මගේ අම්මට රඟපාන්නෙ උමයංගනා අක්කා.

කලා කටයුතුවලට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද...?
ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ හැමදෙයක්ම පිටුපස ඉන්නෙ මගේ අම්මයි තාත්තයි තමයි. විශේෂයෙන් මගේ අම්මා. හැබැයි මගේ රූපගත කිරීම් කරද්දී මගේ අම්මා මාත් එක්ක යන්න එන්නෙ නැහැ. රූපගත කිරීම් කරද්දී මාත් එක්ක මගේ යාළුවෙක් යන්න එනවා. හැබැයි මම කරන හැම වැඩක්ම මගේ අම්මාට මම කියනවා. ටෙලිනාට්‍ය කටයුතු වගේම මම මගේ අධ්‍යාපන කටයුතුත් කරගෙන යනවා.

ඇත්තම කියන්න.. මිෂෙල් අද වනවිට සැබෑ ජීවිතේ පෙම්වතියක්ද...?
නැහැ. ඇත්තටම නැහැ. මට තාම වයස අවුරුදු විසිදෙකයි. මගේ ගෙදරින් මට අසීමිත ආදරයක් ලැබුණා. මම ක්ලාස් ගියේ තනියෙන් නෙමෙයි. මගේ හැමදෙයකදීම මගේ අම්මා පිටිපස්සෙ හිටියා. හැබැයි එහෙමයි කියලා මාව හිරකරගෙන තහංචි දාගෙන ඒ අය මාව බලාගත්තෙ නැහැ. ඒ අවශ්‍ය නිදහස අපිට හැමවෙලේම ලබාදුන්නා. හැබැයි මගේ හිත වෙන තැනකට යොමුකරන්න ඒ අය කිසිම ඉඩක් තැබුවේ නැහැ. දැන් වුණත් මම ගොඩක් වෙහෙසෙන්නෙ මගේ රංගන කටයුතුවලටයි අධ්‍යාපන කටයුතුවලටයි. ඒ නිසාම තාමත් මම පෙම්වතියක් නෙමෙයි.

 

► Text - Jayamali  /   Pic - Sumudu