2017 අගෝස්තු 19 වන සෙනසුරාදා

මම දරුවා ලැබෙන්න දඟලද්දිත් ජැක්සන් වේදිකාවේ

 2017 අගෝස්තු 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 912

කුමාරිටයි ජැක්සන්ටයි තියෙන්නේ ගමේ ආදරණීය ආදර කතාවක්නේ.... ඕක පාසැල් ප්‍රේමයක්ද...?
ජැක්සන්ව මට මුලින්ම මුණගැහුනේ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේදී. මම සාමාන්‍ය පෙළ ඉඳන්ම ඉගෙනගත්තේ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ. හැබැයි උසස් පෙළ පන්තිවලදී තමයි ජැක්සන් අපේ ඉස්කෝලෙට ආවේ. හැම මාසෙකම අන්තිම සිකුරාදා සමිතිය තියෙනවා. ඉතින් ජැක්සන් ආපු දවස්වල තිබුණු ඒ සමිතියේදී ජැක්සන් පියාණෙනී මා නැවත උපන්නොත් කියන සින්දුව කිව්වා. ඒක හරි ලස්සන හරි හැඟීමකින් කිව්වා. එතකොට හැම ළමයෙක්ටම ජැක්සන් ගැන විශේෂත්වයක් දැනුණා. හැබැයි මම ජැක්සන් එක්ක කතා කළේ නැ. පොඩි ආඩම්බරයක් මගේ තිබ්බා. හැබැයි මගේ යාළුවෝ දෙන්නා කතා කළා. හැබැයි අපි පාසැලේදී නම් ප්‍රේම කළේ නෑ.

එතකොට ජැක්සන් කුමාරිගේ බටනලා සද්දය දිගේ ආපු කතාව මොකක්ද?
ඒ කාලේදී අලුතින් ඉස්කෝලෙට ආව ගමන් රැග් එක දෙනවා. එයාව ගණන් ගත්තේ නෑ. කවුරුත් කතා කරන්නේ නෑ. ඉතින් ජැක්සනුත් හරිම පාළුවෙන් රැග් එකෙන් හෙම්බත් වෙලා ඉඳිද්දී විද්‍යාල භූමියේ ඇවිදගෙන යද්දි බටනලා හඬක් ඇහිලා ඒ හඬ දිගේ බලන්න ආවා. ඒ වෙලාවේ සංගීත කාමරේ සුදු ගවුමත් ඇඳගෙන කොණ්ඩ කරල් දෙකක් ගොතලා ඒ බටනලාව වාදනය කළේ මමයි. ඉතින් එදා අපි කතා කළා. ඊට පස්සේ අපි හොඳ යාළුවෝ වුණා.

ඒ යාළුකමටද ජැක්සන්ට ජැකා කිව්වෙත්....
ඔව්.... ඒ යාළුකම කොච්චරද කියනවා නම් ජැකා, මචං, උඹ, වරෙන්, පලයන් කියලා තමයි අපි කතා කළේ. ඒ තරමටම අපි හොඳ යාළුවෝ වුණා. ඒ කතාබහේදී අපි ප්‍රශ්න ගැන අපි ගැන අපි කතා කරද්දී කතාකරද්දී අපි ආදරේත් කළා. එතකොට අපි ඉස්කෝලෙන් අවුට් වෙලා. කොහොමත් ජැක්සන්ගෙයි මගෙයි යාළුකමට හරියට දිනයක් නෑ. ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ අපි දෙන්නා වේදිකා නට්‍යවලට සම්බන්ධ වුණා. ඒ නාට්‍ය මැදදී තමයි මෙහෙම සම්බන්ධයක් ඇතිවුණේ.

ඔය දෙන්නගේ සම්බන්ධයට ගෙදරින් අකමැති වුණා නේද?
අම්මෝ ඔව්... ගෙවල් දෙකෙන්ම අපේ සම්බන්ධයට අකමැති වුණා.... ජැක්සන් කතෝලික පරිසරයක හැදුණු කෙනෙක්. මම බෞද්ධ පරිසරයක හැදුණු කෙනෙක්. ඒ නිසා ගෙවල් දෙකෙන්ම මුලදී තදින්ම විරුද්ධ වුණා. හැබැයි අම්මා තමයි මගේ තනියට නාට්‍යවලට යන්න එන්නේ. ඉතින් ජැක්සන්ව දිගින් දිගටම කතාබහ කරද්දී ඇසුරු කරද්දී අම්මා ජැක්සන්ට කැමති වුණා. කොහොම හරි මගේ අප්පච්චිත් කලක් යද්දි ජැක්සන්ට කැමති වුණා. ජැක්සන්ගේ ගෙදරින් අකමැති වුණාට ජැක්සන්ගේ යාළුවෙක් විදිහට ඉන්න කාලේදීත් ඒ පවුලේ අය මට හරි ආදරෙයි. මම ඒ කාලේ නිතර ඒ ගෙදර යනවා. ඒ නිසා ඒ අය අන්තිමට කැමති වුණා. කොහොම හරි ගෙවල් දෙකේම කැමැත්තෙන් 1983දී අපි විවාහ වුණා.

විවාහ වෙලා ජැක්සනුයි, කුමාරියි කොහේද පදිංචි වුණේ?
විවාහවෙලා අපි දවස් දෙකක් ජැක්සන්ගේ මහගෙදර නතර වුණා. ඊට පස්සේ ජැක්සන්ගේ මහගෙදරට උඩහ තිබුණ පුංචි ගෙදර අපි දෙන්නා පදිංචි වුණා. ඒකේ තිබුණු අපහසුකම් ගැන කියලා වැඩක් නෑ. වහිනකොට ගේම තෙමෙනවා. එතකොට භාජන තියනවා. සමහර තැන්වල පුටුව උඩට හරි ඇඳ උඩට හරි නැගලා අර එක්ස්රේ බෝඩ් ගහනවා. චූටි චූටි වළං පොඩි අරගෙන හරියට සෙල්ලම් ගෙවල්වල උයනවා වගේ කෑම උයනවා. ඉස්සර මම කසාද බඳිනකන් උයන්න දැනගෙන හිටියේ නෑ. ඉතින් මුල් දවස්වල බත බෙරිවෙනවා. එහෙම නැත්නම් බත රොස් වෙනවා. හොද්දක් හදලා හොද්දේ බාගයක් ඉවර වෙනකන් ළිපේ තියලා හොද්දේ ලුණු සැරෙන් සැරේට බලනවා. ඒ තරමටම ලුණු දාන්න බයයි. අද වෙනකොට මට තනියම මඟුල් ගෙදරක උයන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි මම කොහාම හැදුවත් ජැක්සන් ඒවා හරි රසයි කියලා කෑවා. මට මුකුත් කිව්වේ නෑ.

ආසාවෙන් හිටියේ දුවෙක්ටද? පුතෙක්ටද?
මුල ඉඳන්ම අපි දෙන්නම ආසාවෙන් හිටියේ දුවෙක්ට තමයි. දරැවා පිළිසිඳ ගන්නත් කලින් අපි දෙන්නා දුවට &වත්සලා* කියල නම දාලයි තිබුණේ. ජැක්සන් ඉස්සර &මේ කොයි යන්නේ* කියලා වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කළා. ඒකේ රෑමත් අන්ධ ගැහැනු ළමයාගේ චරිතයට හිටියේ මම. ඒ චරිතය තමයි &වත්සලා* ඊට පස්සේ ජැක්සන් කිව්වා අපි කවදාහරි අපේ දුවට වත්සලා කියලා නම දාමු කියලා. කොහොම හරි &ව* අකුර දුවට ආවා. ඉතින් අපි &මාධවී වත්සලා* කියන නම දුවට තිබ්බා.

දුව ඉපදෙද්දි ජැක්සන් හිටියේ වේදිකාවේ කියන්නේ ඇත්තද...?
ඔව්.... දුව ඉපදෙද්දී ජැක්සන් හිටියේ වේදිකාවේ. මගේ මල්ලී එතකොට හිටියේ වෛද්‍ය ශිෂ්‍යයෙක් විදිහටයි. දුව ලැබෙද්දී මට ගොඩාක් අමාරු වුණා... විළිරුදාව හැදිලා දවස් හතරක් දුක් විඳලා තමයි දුව ඉපදුනේ. දුවයි මායි දෙන්නම මැරෙන්න තරම් ප්‍රවණතාවයක් ඒ කාලේ තිබුණා... ඒ වෙලාවේ මගේ මල්ලී එහාට මෙහාට දුවලා බත් කකා හිටපු දොස්තරගේ අත හෝදලා ගෙනල්ලා ලේබර් රූම් එකට දැම්මා. එයා ඉපදුනේ සොයිසා කාන්තා රෝහලේ.

ඉපදෙද්දී මාධවී මොන වගේද...?
එයා ගොඩක් චූටියි. හරියට චූටි කුරුලු පැටියෙක් වගෙයි. එයා වැටෙයි කියලා අතට ගන්න බයයි. අතපය හරි චූටියි. දුව ඉපදුණාම අපේ අම්මා ඇවිත් හැමදෙයක්ම මට කියලා දුන්නා. මාධවී පුතාලා දෙන්නටම වඩා හරි දඟයි. මොකක් හරි එපා කිව්වොත් ඒක කරලමයි පස්ස බලන්නේ. කටකාරයි. පුංචි කාලේත් එයා ඇහෙන ඇහෙන සින්දු කෑලි කියනවා. මට මතකයි එයා චූටි කාලේ කීර්ති පැස්කුවල්ගේ සින්දුවක් හදලා ‍සඳහා පායලා... මම පවුලේන් ඉඳලා මළා කියල කියනවා. එයා හරිම හරි හුරතල් දරුවෙක්.

තරුණ වයසේදී ගැහැනු ළමයෙක්ට ඇතිවන සිතුම් පැතුම් ප්‍රශ්න දුව කුමාරි එක්ක කතා කළාද...?
මුලින් කියන්නේ නෑ. හැබැයි පස්සේ මට කියනවා. කොහොමටත් දරුවන් තුන්දෙනාම අපි දෙන්නට හරිම එකතුයි. මාධවී අද වෙද්දී වෙනත් පැතිවලින් එයාගේ හැකියාව පෙන්නුම් කරලා තියෙනවා. අද මටයි ජැක්සන්ටයි දුව ගැන හරි සතුටුයි. මාධවී හරි රසට කෑම හදනවා. මාධවී අපි හැමෝටම හරි ආදරණීය දරුවෙක්.

ඊළඟට අපි කතාබහ කළේ මේ ආදරණීය අම්මාගේ ආදරණීය දුව වුණු මාධවී වත්සලා එක්කයි.

මාධවී... අම්මා කාර්යබහුල කලාකාරියක්නේ. මතකද ඔයාගේ පුංචි කාලේ ගෙවුණු හැටි.
මම චූටි කාලේ අම්මා නිළියකටත් වඩා ගායිකාවක්. ඒ වෙද්දී අම්මා රුකියාවක් කළා. ඒ රැකියාවේ කාර්යබහුලකමත් එක්ක අම්මා ගොඩක් කාර්යබහුල වුණා. ඒ වගේම තමයි අප්පච්චිත්. ඉතින් අපේ පන්තිවල අනිත් දරුවන්ගේ මව්පියො ඒ දරුවන්ට වැයවන තරම් කාලයක් ඒ කාලේදී අපේ මව්පියන්ට වැයකරන්න තිබුණේ නෑ. ඒක අපි දැක්කා. ඒ වගේම ඒකට අපි එකඟවෙලා හිටියා. අපි දැනගෙන හිටියා අපි විශේෂයි කියලා. ඒ නිසා දෙයක් ලැබෙද්දී දෙයක් අහිමිවෙනවා කියලා අපි දැනගෙන හිටියා. ඒ කැපකිරීම අපි හැමෝටම දරන්න සිද්ධ වුණා. වෙන දරුවන්ට වගේ අපේ ගුරු දෙගුරු රැස්වීමට අම්මා අප්පච්චි ආවේ නෑ. වැඩිපුරම ආවේ අත්තම්මයි.

මල්ලිලා දෙන්නායි ඔයයි චූටි කාලේ වැඩිපුරම කැමැති මොනවටද..?
ලොකු මල්ලිට වඩා මම අවුරුදු දෙකක් වැඩිමල්. මල්ලි ඉපදුණාට පස්සේ මල්ලියි මායි ගොඩාක් එකතුයි. අදටත් එහෙමයි. මාගේ පුංචි කාලේදී සාමාන්‍ය පුංචි ගෑනු ළමයෙක් වගේ කාලයක් මට තිබුණේ නෑ. මම බෝනික්කන් එක්ක සෙල්ලම් කළේම නැතිතරම්. මම වැඩිපුරම හිටියේ මල්ලිලා දෙන්නා එක්ක. ඉතින් මම සෙල්ලම් කළෙත් ඒ දෙන්නා සහ එයාලගේ යාළුවෝ එක්කයි. අදටත් එහෙමයි. මට මල්ලිලා රැලක් ඉන්නවා. ඒ හැමෝම මට අක්කා කියාගෙන මට හරි ආදරණීයයි. ඒ නිසා මගේ ළමා කාලේ ගෙවුණේ බෝනික්කත් එක්ක සෙල්ලම් ගෙවල් අස්සේ නෙමෙයි. මටත් තිබුණේ රොබෝලා එක්ක සෙල්ලම් කරන ගේම් ගහන අතීතයක් තමයි.

ඔයා පුංචි කාලේ වැඩිපුරම සැර අම්මද...? අප්පච්චිද...?
අම්මා තමයි අපි තුන්දෙනාට පොඩි හරි දඬුවමක් එහෙම කළේ. අප්පච්චි එහෙම දඬුවම් කළේ නෑ. එයා අපි වරදක් කළාම එයා එයාට දඬුවම් කරගන්නවා. අපිට වරදක් කළාම එයා දුක හිතිලා කතා නොකර, කන්නේ නැතිව ඉදිද්දී අපිට අපේ වැරදි තේරුම් ගන්න පුළුවන් වෙනවා. අම්මා තමයි අපිට දඬුවමක් හරි කරලා වැරැද්දක් පෙන්නලා දුන්නේ...

අප්පච්චිත් අම්මත් කලාකරුවන්. මාධවීව කලාවට යොමුකළේ කවුද...?
මම ඉපදෙද්දීත් අප්පච්චි ඉඳලා තියෙන්නේ වේදිකාව මතයි. ඒ නිසා අපේ ජීවිතේ පෞද්ගලික කාරණා කලාවක් එක්ක බැඳිලයි තියෙන්නේ. ඒ නිසාම අපි නිතැතින්ම උපතින්ම කලාකරුවන් වුණා. අම්මාගේ අප්පච්චිගේ හැකියාවන් මිශ්‍රවෙලා අපි බිහිවුණා. ඒ නිසා අපේ ඇඟේ කලාව තියෙන්න ඇති. ඒක අපිට දැනෙන්න ඇති. ඒ වින්දනය අපි විඳිනවා.

තරුණ කෙල්ලෙක් දිහා පිරිමි ළමයින්ගේ බලනවා වැඩියිනේ. කොහොමද ඒ කාලයේ....
ඉස්කෝලේ යන කාලේදීත් මට ගොඩාක් යෝජනා ආවා. සමහරැ ගෙදරට කෝල් කරනවා. ඉතින් අම්මා බණිනවා. සාමාන්‍ය අම්මා කෙනෙක් ප්‍රතිචාර දක්වන විදිහට මගේ අම්මත් ඒවාට ප්‍රතිචාර දැක්වූවා. ඕනෑම ප්‍රශ්නයකදී අදටත් අපි පස්දෙනාම එකතුවෙලා කතාබහ කරනවා. තීරණ ගනිද්දී අපි පස්දෙනාම ඒ ගැන කතා කරනවා. හැමදේකදීම පවුලේ සාකච්ඡාවක් තියලා දෙයක් අපිට තියෙනවා. කිසිම දෙයක් කරන්න මට අම්මාවත් අප්පච්චිවත් බල කරන්නේ නෑ. ඒ දෙන්නම අපිට අපේ පාර හොයාගෙන යන්න ඉඩ දුන්නා.

අද වෙද්දී අම්මයි මාධවීයි විතරක් නෙමේ මුළු පවුලම කාර්යබහුලයි. කට්ටිය එකතු වෙද්දී මොනවගේ දේවල්ද කරන්නේ?
ඒ වගේ වෙලාවට අපි පස්දෙනාටම කතා බහ කරන්න බොහෝ දේවල් තියෙනවා. මම කැමැතියි උයන්න. ඉතින් මගේ වැඩේම අලුත් කෑමක් හදලා ගෙදර අනිත් අයට කන්න දෙනවා. අප්පච්චියි අම්මයි හරි කැමැතියි මම හදන කෑම කන්න. ඉතින් ඒ වගේ වෙලාවට අපි ගෙදර කට්ටියම එකතුවෙලා සින්දු කියනවා. ඒ තමයි අපි. ඒ නිදිහසට අපි කැමතියි. මගේ අම්මයි අප්පච්චියි නිසා තමයි අද මම මේ විදිහට සතුටින් ඉන්නේ. මගේ අම්මා හරි සරලයි. අම්මා සංකීර්ණ චරිතයක් නෙමේ. අපි වැඩිමහල් වෙනකොට මම අම්මට තව තවත් කිට්ටු වෙනව කියලා මට දැනෙනවා.

 

► Text – Jayamali  / Pic - Sumudu