2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

කලා ලෝකයේ තරු ජෝඩු

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 377

මෙම විශේෂාංග මාලාවෙන් අපේ අවධානය යොමුවන්නේ ශ්‍රී ලාංකික කලාව පෝෂණය කිරීමෙහිලා සුවිශේෂී දායකත්වයක් ලබාදුන් කලා ලොවේ අඹු සැමියන් පිළිබඳවයි.

එඩී ජයමාන්න - රුක්මනී දේවි

ශ්‍රී ලාංකික කතානාද සිනමාවේ පුරෝගාමී විකට නළුවා ඔහුය. පසු කලෙක සිංහල සිනමාවේ විකට රජා යන විරුදාවලියට හිමිකම් කී එඩී මුල්ම සිනමාපටය වන කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ මනප්පුවාගේ චරිතය රඟපෑවේය. එම චිත්‍රපටයේම රුක්මනී දේවි රංජනී නම් ප්‍රධාන චරිතය රඟපෑවාය. එපමණක් නොව, 1947 දී තිරගත වුණු කඩවුණු පොරොන්දුව හරහා රුක්මනී දේශීය සිනමාවේ මුල්ම පසුබිම් ගායිකාව ලෙස ද කුසලතාවන් දැක්වූවාය. එඩී හා රුක්මනී මුල්වරට මුණගැසුණේ මිනර්වා නාට්‍ය කණ්ඩායම සම්බන්ධව කටයුතු කළ අතරතුරය. ඒත් එඩී හා රුක්මනී විවාහ වීමේ අදහසට රුක්මනීගේ මවුපියන් දැඩි ලෙස විරුද්ධ වී ඇත. එවකට රුක්මනී බාල වයස්කාර දැරියකව සිටි බැවින් රුක්මනීගේ මවුපියන් මෙම විවාහයට එරෙහිව කොළඹ දිස්ත්‍රික් අධිකරණයේ නඩුවක් ද පැවරූහ. එහෙත් ඔවුන්ගේ ආදර කතාවේ උච්චතම අවස්ථාව සටහන් කරමින් එඩී හා රුක්මනී 1943 පෙබරවාරි 18 වැනි දින වැලිගම්පිටිය කතෝලික දේවස්ථානයේ දී විවාහ ගිවිස ගත්හ.

සිසිර සේනාරත්න -ඉන්ද්‍රානි සේනාරත්න

නුහුරු නුපුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා... ගීය තුළින් යොවුන් හදවත් ප්‍රේමයෙන් මුසපත් කළ සිසිර සේනාරත්න හා ඉන්ද්‍රානි විජේබණ්ඩාරට සිංහල සංගීත වංශකතාවේ සුවිශේෂී ස්ථානයක් හිමි වේ.
ගීතයෙන් පමණක් නොව සැබෑ දිවියේ යුග ගීය ද එක්ව ගායනා කිරීමට අදිටන් කරගත් සිසිර හා ඉන්ද්‍රානි පෙම්වතුන් යුවල විවාහ දිවියට ඇතුළත් වූයේ 1962 මැයි 31 වැනි දිනය.
පුවත්පත් සාකච්ඡාවක දී වරක් ඉන්ද්‍රානි විජේබණ්ඩාර කලා ශිල්පිනිය අපට පැවසුවේ ඔවුන්ගේ ආදර කතාවට ද විවිධ බාධක කම්කටොලු තිබූ බවය.
කොටින්ම කිව්වොත් අපේ හඳහන්වත් ගැලපුණේ නැහැ. එහෙත් අපි හොඳ බෞද්ධයෝ හැටියට, දෙන්නට දෙන්නා හොඳ අවබෝධයකින්, එකිනෙකා විශ්වාස කරමින් ජීවත් වුණා. දශක පහකට අධික කාලයක් අපි ඉතා හොඳ විවාහ ජීවිතයකට උරුමකම් කිව්වා. හොඳ දරුවන් තිදෙනෙක් සමාජයට බිහි කළා, ඉන්ද්‍රානි කීවාය.

රවීන්ද්‍ර රූපසේන - ලීනා ද සිල්වා

රවීන්ද්‍ර රූපසේන පනහ හා හැට දශකයේ සුපිරි තරුවකි. ඔහු රංගන ශිල්පියෙකු වීමට පෙර ගායකයෙකු ලෙස ප්‍රකටව සිටියේ ඩබ්.කේ. රූපසේන නමින්ය. 1954 දී ඔහු සිනමා නළුවෙකු ලෙස දොරට වැඩියේ අහංකාර ස්ත්‍රී චිත්‍රපටය තුළින්ය. දේශීය සිනමාව වර්ණවත් කළ ජනප්‍රිය රංගන ශිල්පිනී ලීනා ද සිල්වාගේ මුල්ම චිත්‍රපටය වූයේ ද අහංකාර ස්ත්‍රී ය.
එම හමුවීමේ ප්‍රතිඵලයක් ලෙස පසුකලෙක රවීන්ද්‍ර හා ලීනා සැබෑ දිවියේ පෙම්වතුන් වූහ.
1978 දී රවීන්ද්‍රගේ අකල් මරණයෙන් අනතුරුව ලීනා ද සිනමා රංගනයෙන් මඳක් ඈත් වූවාය.
මීට වසර 25කට පමණ පෙර ලීනා සිය දරුවන් සමඟ කැනඩාවේ පදිංචියට ගියාය.

පී.එල්.ඒ. සෝමපාල - චිත්‍රා සෝමපාල

ලාංකික සංගීත ක්ෂේත්‍රයේ පී.එල්.ඒ. සෝමපාල හා චිත්‍රා සෝමපාලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.
පී.එල්.ඒ. ග්‍රැමෆෝන් යුගයේ පටන් ගුවන් විදුලි, චිත්‍රපට හා රූපවාහිනී ක්ෂේත්‍රයන්හි දස්කම් දැක්වූවෙකි. ඔහුගේ කැපීපෙනෙන සංගීත කුසලතාවන් හේතුවෙන් ඔහු 1943 දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා වාද්‍ය වෘන්දයේ සාමාජිකයෙකු ලෙස බැඳී පසුකලෙක එහි නායකත්වයට ද පත් විය.

1946 දී ඔහුට මුල්වරට චිත්‍රා පෙරේරා මුණගැහෙන්නේ ද ගුවන් විදුලි වැඩසටහනක් අතරතුරය.
කුරුලු ගමේ, ඉසුරුමුනී, උඩරට කඳුකර, දඹුලු ගලේ, දකුණු ලකේ අගනගරේ වැනි ගීත සඳහා චිත්‍රා හා පී.එල්.ඒ.ගේ දායකත්වය කැපීපෙනුන අතර 1952 සැප්තැම්බර් මස 27 වැනි දින ඔවුන් යුගදිවියට පා තැබූහ.
පී.එල්.ඒ. චිත්‍රපට 50කට අධික සංඛ්‍යාවක සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ අතර චිත්‍රා හා පී.එල්.ඒ. විදෙස් රටවල් ගණනාවක සංගීත ප්‍රසංග පවත්වා තිබේ.

ලතා වල්පොල - ධර්මදාස වල්පොල

සිංහල සිනමාවේ ආරම්භක යුගය තුළ තිබුණු ඉන්දීය සංගීත බලපෑම් යම්තාක් දුරට කඩා බිඳ දැමීමට ජනප්‍රිය කලා ශිල්පීන් වන ධර්මදාස වල්පොලට හා ලතා වල්පොලට හැකියාව ලැබිණ.
1952 සිට වසර 30 ක් මුළුල්ලේ චිත්‍රපට 120කට වැඩි ප්‍රමාණයක් සඳහා ධර්මදාස වල්පොල පසුබිම් ගායකයෙකු ලෙස දායක වූ අතර කලාශූරී ලතා වල්පොල චිත්‍රපට සුවිශාල සංඛ්‍යාවක පසුබිම් ගී ගායනයෙන් දායක වූවාය.
හොඳ හොඳම වේය ලොව කිසිම තැනක නැහැ... ගීය ගයමින් ලතා - ධර්මදාස යුග ගී ගමන ආරම්භ කළ අතර 1959 ධර්මදාස වල්පොල, ලතා වල්පොල හා අතිනත ගත්තේය.

ශ්‍රියානි අමරසේන - ආතර් යූ. අමරසේන

1961 දී නරිබෑනා (දයානන්ද ගුණවර්ධනයන්ගේ සුවිශේෂී නාට්‍ය නිර්මාණය) හි ගමදුවගේ ප්‍රධාන චරිතය තුළින් රංගන දිවියට අත්පොත් තැබූ ශ්‍රියානි ළමාවියේ පටන්ම ගුවන් විදුලි නාටකවල හා ළමා ගී වැඩසටහන්වලට සහභාගි වූවාය.
ඇගේ සැමියා ආතර් යූ. අමරසේන මෙරට ප්‍රකට, ප්‍රවීණ සිනමා මාධ්‍යවේදියෙකි. ජනප්‍රිය සිනමා පුවත්පත් කීපයකම ප්‍රධාන කර්තෘ ලෙස කටයුතු කළ ආතර් යූ. අමරසේනට ශ්‍රියානි මුණගැසුණේ ද පුවත්පතකට සම්බන්ධ අහඹු සිදුවීමක්ව නිසාය.
එදා දවස පුවත්පත මගින් මුල්වරට මංගල යෝජනා තීරයක් ආරම්භ කිරීමට සැලසුම් කළ කාලයේ දී එම පත්‍රයේ ප්‍රධාන කර්තෘ ඩී.බී. ධනපාලයන් සිය කර්තෘ මණ්ඩලයේ අවිවාහක තරැණයන්ට එම තීරුව සඳහා විස්තර පළ කරන ලෙස යෝජනා කර තිබේ. එවැනි විස්තරයක් ආතර් ද පළ කළ අතර ඔහුට ප්‍රතිචාර ලිපි 360 ක් ලැබී තිබුණි. ඒත් ඒ හරහා ඔහුට දෛවය හිමිකර දුන්නේ ශ්‍රියානි අමරසේනය.
ආතර් - ශ්‍රියානි විවාහය සිදුවූයේ 1964 නොවැම්බර් මස 11 වැනි දිනය.

( තවත් කොටසක් ලබන සතියේ )

► Text – Ramesh Uvais