ගයාන් ගාල්ලගේ |
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් කිරීම දේශපාලනික වශයෙන් ගත් පළිගැනීමක් ව්‍යවස්ථානුකූලව නිවැරදි කිරීමක් බව ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා දේශයට පැවසීය.
ජනාධිපතිවරයා එය එඩිතරව ගත් තීන්දුවක් බවත් ඒ වෙනුවෙන් තමා ඕනෑම වෙලාවක පෙනී සිටින බවත් ඔහු කීය.
දුමින්ද සිල්වාට සිදුවූ අසාධාරණය පැහැදිලිවම රන්ජන් රාමනායකගේ හඬපට හරහා තහවුරු වන බවත් මෙය දේශපාලන පළිගැනීමක් බවට තහවුරු වීමට එය හොඳම සාක්ෂිය බවත් සනත් නිශාන්ත මහතා සඳහන් කළේය.
හිටපු පාර්ලිමේන්තු දුමින්ද සිල්වා නිදහස් කිරීම නීති ආධිපත්‍යය නොතකා පුද්ගලික කැමැත්තට සිදුකළ ක්‍රියාවක් බවත් එමගින් රාජාණ්ඩු පාලන ක්‍රමයක් තහවුරු කෙරෙන බවත් ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සහ වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ප්‍රධානී ලාල් කාන්ත මහතා දේශයට පැවසීය.
මෙය පුදුමවිය යුතු කරුණක් නොවන අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව ක්‍රමානුකූලව මෙම තත්ත්වය නිර්මාණය කරමින් පැමිණි තත්ත්වයක් බවත් හෙතෙම සඳහන් කළේය.
මේ වනවිට ආණ්ඩුවට ඡන්දය ලබාදුන් ජනතාව දැඩි කලකිරීමෙන් සිටින බව දැන දැනට මෙය සිදුකළේ යන යකා කොරහා බිඳගෙනම යාමේ අරමුණෙන් බවත් ඔහු පැවසීය.