I දේශපාලන වාර්තාකරු
පේරාදෙණිය සරසවියේ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ ඇතුළු පිරිසක් විසින් කොරෝනාවලින් ආරක්ෂා වීම සඳහා නිපදවන ලද නැනෝ තාක්ෂණික මුඛ ආවරණයට ඖෂධ නියාමන අධිකාරිය මාස ගණනක් තිස්සේ අනුමැතිය ලබා නොදීම නිසා එයට ලැබී තිබෙන අපනයන ඇණවුම් සිදුකරගත නොහැකි වී ඇතැයි වාර්තා වෙයි.
වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ස.තො.ස හරහා මෙම මුඛ ආවරණය සාධාරණ මුදලකට ජනතාවට දැනටමත් අලෙවි කිරීමට පටන්ගෙන ඇත. මෙම නැනෝ තාක්ෂණ මුඛ ආවරණය කොරෝනා විෂබීජය විනාශ කිරීමේ බලයකින් යුක්ත බව එය නිෂ්පාදනය කළ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ මහතා දේශයට කීය. රෙදිවලින් නිෂ්පාදනය කර ඇති නිසා වාර 25ක් පමණ සෝදා පාවිච්චි කළ හැකි වර්ගයේ මෙම මාස්ක් සඳහා තමන් පේටන්ට් අයිතියද ලබා ඇතැයි ඔහු පැවසීය.
මේ සඳහා දැනට විදේශ රටවලින් සෑහෙන ඉල්ලුමක් ඇතත් ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය නොමැති නිසා එම අවස්ථාව අහිමි වී ඇතැයිද ඔහු සඳහන් කළේය. මේ වන විට ඖෂධ නියාමන අධිකාරිය ඉල්ලා සිටි වාර්තා සියල්ලම සපයා දී ඇතත් මෙයට අනුමැතිය දීම කිසියම් හේතුවක් නිසා පමාවෙමින් තිබෙන බව මහාචාර්යවරයා කීය.