වසර 2ක් “ටුවරිසම්” නෑ
I සංජීවිකා සමරතුංග
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය තවත් වසර දෙකක් යන තෙක් නිසි ලෙස ක්‍රියාත්මක නොවනු ඇති බව මුදල් අමාත්‍යංශය පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීන් වෙත දැනුම් දී තිබේ. එම නිසා සංචාරක ව්‍යාපාරයේ නියුතු පිරිස් වසර දෙකක කාලයක් යන තෙක් විකල්ප ව්‍යාපාරවලට යොමුවිය යුතු බව දැනුම් දී ඇත.
ලෝක පොළේ තෙල් මිල බසී
ගත වූ දින කිහිපය තුළ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් පහත වැටී ඇත. ඒ අනුව මෙයට පෙර අමෙරිකානු ඩොලර් 76 ඉක්මවා තිබූ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70 දක්වා අඩු විය. ශ්‍රී ලංකාව බොරතෙල් මිලදී ගැනීම සඳහා මසකට අමෙරිකානු ඩොලර් මිලියන 350ක් වැය කරනු ලබයි. එම අධික වියදම නිසා ඉන්ධන මෙරට ප්‍රධානම ආනයන භාණ්ඩය බවට පත්ව තිබේ.
හැම ග්‍රාමසේවා වසමකටම එක් ව්‍යාපෘතියක්
ලබන අයවැයෙන් දිවයිනේ සෑම ග්‍රාමසේවා වසමකම එක් ව්‍යාපෘතියක් සඳහා මුදල් වෙන් කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තීන්දු කර ඇත. රට පුරා ඇති ග්‍රාමසේවා වසම් 14,500ටම ඒ අනුව සංවර්ධන මුදල් යොමු කෙරේ. මුදල් ප්‍රතිපාදන නිදහස් කළ වහාම 2022 මාර්තු 31 දිනට පෙර එම ව්‍යාපෘති ආරම්භ නොකළහොත් වෙන් කරන මුදල් නැවත මහා භාණ්ඩාගාරයටම ආපසු ලබාගැනීමටද නියමිතය.
අයි.එම්.එෆ්. ඩොලර් මිටියක් මෙරට මාකට් එකට?
රටේ පවත්නා ඩොලර් හිඟයට පිළියමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලබන මස ශ්‍රී ලංකාවට ලැබෙන ඩොලර් මිලියන 800න් 200ක්වත් වෙළෙඳපොළට මුදාහැරිය යුතු බව මෙරට ප්‍රධාන පෙළේ ආර්ථික විශ්ලේෂකයන් රජයට යෝජනා කර ඇතැයි දේශයට වාර්තා වෙයි.