2021 අගෝස්තු 14 වන සෙනසුරාදා

බඩු කන්ටේනර් 400ක් වරායේ ගල්වෙයි!

 2021 අගෝස්තු 14 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 43

I ව්‍යාපාරික වාර්තාකරු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආදිය ඇතුළත් කන්ටේනර් 400කට වැඩි ප්‍රමාණයක් ඩොලර් හිඟය නිසා වරායේ ගුදම්වල සිරවී ඇතැයි ආනයනකරුවන්ගේ සංගමය මේ සතියේ රජයට පැමිණිලි කර තිබේ. තමන්ගේ ණයවර ලිපිවලට ඩොලර්වලින් මුදල් ගෙවීමට නොහැකි වීමෙන් මෙලෙස කන්ටේනර් සිරවීම නිසා ගුදම්වලට අධික මුදල් ගෙවමින් ඒවා රඳවා තබන්නට සිදුව ඇතැයිද ඔවුහු පවසති.

මෙම කන්ටේනර්වල අල, පරිප්පු, ලූනු, මිරිස්, හාල්මැස්සන් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක් පවත්නා බවද ආනයනකරුවෝ වැඩිදුරටත් කීහ. මෙලෙස භාණ්ඩ සිරවී තිබීම නිසා ඒවායේ මිල ගණන් දිනෙන් දින ඉහළ යන බවත් ඊට ගෙවන දඩ මුදල් පවා භාණ්ඩ මිලට එකතු වන බැවින් ඉදිරියේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යා හැකි බවටත් ඔවුහු අනතුරු අඟවති.

මේ ගැන පසුගියදා රැස්වූ රාජ්‍ය වියදම් කළමනාකරණ කමිටුවටද දැනුම් දී ඇත. කඩිනමින් මෙම ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් ලබා නොදුනහොත් ඉදිරියේදී ආහාර ද්‍රව්‍ය මිල අර්බුදයක් නිර්මාණය වන බව ආනයනකරුවෝ ප්‍රකාශ කළෝය.