අගෝස්තු 31 වැනිදා වන විට තවත් ලක්ෂ 70කට එන්නත්
I සංජීවිකා සමරතුංග
මෙම අගෝස්තු 31 වැනිදා වන විට චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත මෙරට එන්නත් අවශ්‍ය ජනගහනයෙන් ලක්ෂ 70කට ලබාදීමට රජය සැලසුම් කර තිබේ. ඊට අවශ්‍ය සයිනොෆාම් එන්නත් ලක්ෂ 50ක් සඳහා දැනටමත් මුදල් ගෙවා ඇණවුම් කර ඇත. කොළඹ ආශ්‍රිතව දිවා රාත්‍රී එන්නත්කරණ මධ්‍යස්ථාන ගණනාවකදී මෙම එන්නත්කරණය ප්‍රධාන වශයෙන්ම සිදු කිරීමට නියමිතය.
අලුතෙන් සුවසැරිය ගිලන් රථ 103ක්
මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක සුවසැරිය ගිලන් රථ ප්‍රමාණය 297 සිට 400ක් දක්වා වැඩි කිරීමට රජය තීන්දු කර ඇත. එසේම ගිලන් රථයක් රෝගියකු වෙත සැපයීමේ වේගය විනාඩි 13 සිට විනාඩි 8 දක්වා අඩු කිරීමටද සැලසුම් කර තිබේ. දැනට සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල සේවයක් සලසන සුවසැරිය ගිලන් රථ සේවය විපක්ෂ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් ආරම්භ වූ සමාජ සත්කාරයකි.
දැඩි සත්කාර ඇඳන් සියල්ල පිරේ
දිවයින පුරා රෝහල්වල කොරෝනා රෝගීන් සඳහා වෙන්කරන ලද ඇඳන් 186ම පිරී ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි. මේ නිසා විවිධ රෝහල්වල වෙනත් රෝගාබාධවලට ලක්වූවන් සඳහා වෙන්කර ඇති දැඩි සත්කාර ඒකක ඇඳන් 85න් කොටසක්ද කොරෝනා රෝගීන්ට වෙන් කර ඇතැයි වාර්තා වෙයි.
නගර 52ක් වහලා
දිවයිනේ ප්‍රධාන වාණිජ නගර 52ක් පමණ ඒ ඒ ප්‍රදේශවල වෙළෙඳ සංගම් විසින් සිකුරාදා වන විට වසා දමා තිබුණි. එහෙත් එසේ ස්වේච්ඡාවෙන් වසා දමන ලද කෑගල්ල, යටියන්තොට වැනි නගර ගණනාවක වෙළෙඳසල් දින 2, 3කට පසු නැවත විවෘත කර ඇත. භයානක ලෙස කොරෝනා පැතිරීම නිසා බියට පත්ව සිටින වෙළෙඳ සංගම් ප්‍රධානීන් තවත් නගර වසා දැමීමට සූදානම් බවද අප වාර්තාකරැවෝ පවසති.