2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා

කොවිඩ් කමිටුවෙන් විද්වතුන් ඉවත්වීම සාධාරණයි - වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ

 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 31

I චමිඳු නිසල් ද සිල්වා

කොවිඩ් මර්දනය සම්බන්ධව ගනු ලබන වැරදි තීන්දුවල වගකීම තමන් මත පැටවෙතැයි යන අදහසින් කොවිඩ් මර්දනය පිළිබඳ තාක්ෂණික කමිටුවලින් විද්වතුන් ඉවත්වීමට ගනු ලැබූ තීරණ ඔවුන්ගේ පාර්ශ්වයෙන් සාධාරණ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා දේශයට පැවසීය.

මෙවන් කමිටු පිහිටුවා ඇත්තේ වසංගතය මර්දනය සඳහා විශේෂඥ උපදෙස් අවශ්‍ය නිසා බව වෛද්‍ය කොළඹගේ මහතා සඳහන් කළේය. ඒ හේතුවෙන් ඔවුන් ලබාදෙන උපදෙස් මත පදනම් වී වසංගතය මර්දනය සම්බන්ධ තීන්දු තීරණ ගත යුතුයැයිද ඔහු පැවසීය. එන්නත් ලබාදිය යුතු වයස් කාණ්ඩ, ප්‍රදේශ සම්බන්ධ හෝ වෙනත් කරුණක් සම්බන්ධව විද්වත් මතය අභිබවා වෙනත් තීන්දුවලට කවරකු හෝ එළඹේ නම් තමන් මෙම කමිටු තුළ රැඳී සිටීමෙන් පලක් නොමැති බව විශේෂඥයන්ට හැඟී යනු ඇතැයි පැවසූ හෙතෙම නිහඬව මුදල් අය නොකොට සිදුකරන මෙම ගෞරවාන්විත රාජකාරිය සම්බන්ධව ඔවුනට ගැටලු මතුවීම සාධාරණ බව තවදුරටත් පැවසීය.

ඉදිරි කාලයේ කොවිඩ් වසංගතය මර්දනය සම්බන්ධවත් විමර්ශනයක් සිදුවුවහොත් මෙම විද්වත් කමිටුවල සිටින පිරිසට යම් ගැටලුවක් මතුවිය හැකි යැයි කියූ ඔහු ඊට උදාහරණයක් ලෙස පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය ගැන සඳහන් කළේය. මෙම කමිටුවල සිටින විද්වතුන්ගේ උපදෙස් මත මේ මොහොතේ සියලු තීන්දු තීරණ ගනු ලැබූ බව එහිදී පිරිසක් චෝදනා කිරීමට ඉඩ තිබේ. එම නිසා විද්වතුන් ලබාදෙන විද්‍යාත්මක තාක්ෂණික උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක නොවන පසුබිමක මෙම කමිටුවලින් ඔවුන් ඉවත්වීම අසාධාරණ නොවන නමුත් මෙම ඉවත්වීම හරහා අසාධාරණයට ලක්වන්නේ වසංගතයට මුහුණ පා සිටින මහජනතාව බව ඔහු වැඩිදුරටත් පැවසීය.