I සංජීවිකා සමරතුංග
ජාත්‍යන්තර වශයෙන් ඉහළ පිළිගැනීමකට ලක්ව තිබෙන මෙරට අ.පො.ස. සා/පෙළ සහ උසස් පෙළ විභාගවල ලකුණු දීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට අධ්‍යාපන විශේෂඥයන් පිරිසක් ඉදිරිපත් කර ඇති යෝජනාව ආන්දෝලනයට තුඩු දී තිබේ. අධ්‍යාපන අමාත්‍යංශයේ එක්තරා බලධරයකුගේ වුවමනාව මත ඉදිරිපත් කර ඇති අ.පො.ස. සා/පෙළ හා උසස්පෙළ විභාගවලදී 70%ක ලකුණු ප්‍රමාණයක් පාසල් ගුරුවරුන් විසින්ද ඉතිරි 30% විභාග දෙපාර්තමේන්තුවෙන්ද ලබාදීම මෙම ආන්දෝලනාත්මක යෝජනාවයි.
රටේ ගුරු විදුහල්පති සහ ශිෂ්‍ය ප්‍රජාවගේ බලවත් විරෝධයට ලක්විය හැකි මෙම ක්‍රමය ක්‍රියාත්මක කළහොත් විභාග දෙපාර්තමේන්තුවේ වගකීම් සහගත ක්‍රියා කලාපය හෑල්ලු වී යනු ඇති බවට නම් සඳහන් කිරීමට අකමැති වූ විදුහල්පතිවරු කිහිප දෙනෙක් දේශයට පැවසූහ.
මේ සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ, අධ්‍යාපන කටයුතු පිළිබඳ මණ්ඩලයේ සාමාජික ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතාගෙන් අප කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ පාසල් ගුරුවරුන් ජාතික විභාගවලදී 70%ක් ලකුණු ලබාදෙන්නේ නම් ඒවා විධිමත් දෙවැනි පාර්ශ්වයක් විසින් සුපරීක්ෂණයට ලක් කරන්නේ කවුද යන ගැටලුව උද්ගත වන බවයි. එසේම යෝජිත ක්‍රමය විභාග දෙපාර්තමේන්තුවට නොදැරිය හැකි තරම් විශාල වැයබරක් හා සංකීර්ණ ක්‍රියාදාමයක් වන බවද ඔහු පැවසීය.
ජාතික විභාගයකට පාසලේදී ලකුණු ලබාදීමේදී ගුරුවරුන්ගෙන් අගතියක් සිදුවී ඇත්ද? එම ලකුණු ලබාදීමේ ක්‍රමවේදයේ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය පිළිබඳ දිය හැකි නිවැරදි සහතිකය කුමක්ද? යන්නත් ගැටලුසහගත විය හැකි බවද හෙතෙම සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ විභාග සම්බන්ධයෙන් ඇති අන්තර්ජාතික පිළිගැනීමට මෙයින් හානියක් සිදුවේදැයි සොයාබැලිය යුතු බවද මහාචාර්යවරයා කීය. එම නිසා අදාළ යෝජනාව පිළිබඳ විදුහල්පතිවරුන් සමඟ විධිමත් සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව තීරණයක් ගත යුතු බව ඔහු අවධාරණය කළේය.
මේ සම්බන්ධයෙන් දේශයට අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යංශයට සම්බන්ධ නම සඳහන් නොකළ අධ්‍යාපන විශේෂඥයන් කිහිප දෙනකු කියා සිටියේ මෙම යෝජනාව නැවතත් රජයට එරෙහි ගුරු සිසු අරගලයකට පාර කපනු ඇති බවයි.