2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා

වංගු ගහන මෝල්පතියෙක්

 2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 33

ව්‍යාපාරික වාර්තාකරු I

පොළොන්නරුවේ ප්‍රධාන සහල් ව්‍යාපාරිකයන් තිදෙනාගෙන් එක් අයකු සැලසුම් සහගතව කොළඹ සහ අවට උප නගරවල සහල් වෙළෙඳපොළට දෛනිකව නිකුත් කරන සහල් ප්‍රමාණය නිකුත් නොකිරීම ගැන තොග වෙළෙඳුන්ගෙන් රජයට පැමිණිලි ලැබී ඇතැයි දේශයට වාර්තා වෙයි.

පොළොන්නරැවේ ප්‍රධාන සහල් ව්‍යාපාරිකයන් තිදෙනාගෙන් වැඩිපුරම සහල් නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයා දෛනිකව සහල් කිලෝ ලක්ෂ තුනක් වෙළෙඳපොළට මුදාහරී. ඔහු මෙතෙක් ඒ අනුව ක්‍රියා කර ඇතැයි වාර්තා වී ඇත. දෙවැනි සහල් ව්‍යාපාරිකයා දිනකට සහල් කිලෝ ලක්ෂ 2ක් වෙළෙඳපොළට මුදාහරී. ඔහුගේ සහල් තොග දැනට වෙළෙඳපොළේ අතිරික්තයක්ද ඇති බැවින් ඇතිවන හිඟය අනුව සහල් නිකුත් කරන බවට හෙතෙම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දී ඇත.

තෙවැනි සහල් නිෂ්පාදකයාද දිනකට සහල් කිලෝ ලක්ෂ දෙකක් මුදාහැරිය යුතු නමුත් ඔහු දෛනිකව නිකුත් කරන්නේ සහල් කිලෝ 25,000ක් බවට රජයට නිල වාර්තා ලැබී තිබේ. ඔහුගේ මෙම ක්‍රියා කලාපය ගැන දැනටමත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා අදාළ මෝල් හිමියාට අවවාද කර ඇතැයි එම කාර්යාල ප්‍රකාශකයෙක් පැවසීය.

ඔහු මෙලෙස සහල් නිකුත් කිරීම අඩාල කළද පසුගිය කන්නයේ ප්‍රධාන වාණිජ බැංකුවලින් සහන සහිතව රැපියල් බිලියන දෙකක් (කෝටි 200) වී මිලදී ගැනීමට හා සහල් නිෂ්පාදනයට ලබාගෙන ඇතැයිද වාර්තා වෙයි.