2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා

ශ්‍රී ලංකාවේ භූ කම්පන අවදානමක්!

 2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 26

I සංජීවිකා සමරතුංග

ඉදිරි කාලයේදී ශ්‍රී ලංකාවට භූ කම්පන ඇතිවීමේ අවදානම භූ විද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇත. එහෙත් අප රටේ ඒ පිළිබඳව දත්ත ලබාගැනීමට අවශ්‍ය භූ කම්පන මාන ප්‍රමාණවත් ලෙස නොමැති නිසා එම අනතුරේ ස්වභාවය කල් තබා ප්‍රකාශ කළ නොහැකි බව පේරාදෙණිය සරසවියේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා දේශයට කීය.

දැනට ලංකාවේ සිදුවන භූ කම්පන වර්ග 3ක් හඳුනාගෙන තිබේ. ඒ අතුරින් මේ දිනවල දකුණු පළාතේ නිතර වාර්තා වන හදිසි භූ කම්පනවලට හේතුව ඉන්දු ඔස්ට්‍රේලියා භූ තලය කලක් තිස්සේ හරි මැදින් දෙකඩ වෙමින් පැවතීම බවද මහාචාර්ය සේනාරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ඔස්ට්‍රේලියාවේ සිට හිමාලය දක්වා වන භූ තලයේ භූමි කම්පන නිතර සිදුවීම මීට හේතුව යැයි හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකාවේ දැනට ඇත්තේ විධිමත් භූ කම්පන මාන 4කි. එම සංඛ්‍යාව රටේ භූ කම්පන දත්ත නිසි ලෙස ලබාගැනීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ඔහු ප්‍රකාශ කළේය. පසුගිය වසරේ සිට එම කම්පනමාන රජයෙන් ඉල්ලා ඇතත් ඒවා මෙතෙක් ලැබී නැතැයිද ඔහු අවධාරණය කළේය.