2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා

ජනපති එ.ජා. මහ ලේකම් අමෙරිකාවේදී හමුවෙයි!

 2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 19

I සංජීවිකා සමරතුංග

2021 එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය ඇමතීම සඳහා මේ සති අන්තයේදී අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සති අන්තයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස් මහතා මුණගැසී සාකච්ඡා කිරීමට නියමිත බව නිව්යෝර්ක් නුවරින් වාර්තා වෙයි.

එක්සත් ජාතීන්ගේ ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකා රජයට එරෙහිව විවිධ පාර්ශ්ව නගා ඇති චෝදනා සම්බන්ධවත් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කර ඇති ඇතැම් නිර්දේශ පිළිබඳවත් ජනාධිපතිවරයා සිය නිල ස්ථාවරය මෙහිදී එ.ජා. මහ ලේකම්වරයාට දැනුම් දීමට නියමිතය.

ජනාධිපතිවරයා සමඟ මෙම සාකච්ඡාව සඳහා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් ආචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරුද එක්වෙති. මෙම හමුවෙන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙවර සැසිවාරයේ සභාපතිත්වය දරන මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතා ඇතුළු ලෝක නායකයන් කිහිප දෙනකු සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂා කරන බව වාර්තා වෙයි.