I කරුණාරත්න ගමගේ
පොළොන්නරුව ප්‍රදේශයේ ගොවීන් රසායනික පොහොර නොමැතිකම නිසා වී වගාවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. එහෙත් අනුරාධපුරය රාජාංගන ජලාශ ව්‍යාපාරයේ ගොවීන් මේ වන විට ඉදිරි මාස් කන්නය සඳහා වී වගාව ආරම්භ කර ඇති බවත් වාර්තා වෙයි.
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා ප්‍රකාශ කළේ අද ඇතිවී තිබෙන පොහොර ප්‍රශ්නය නිසා ගොවීන් වී වගාව අත්හැරීමට ඒකමතිකව තීරණය කර තිබෙන බවයි.
මේ ප්‍රශ්නය නිරාකරණය කිරීම සඳහා වහාම මැදිහත් වන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව කී ඒ මහතා මහ කන්නයේ වී වගාවට රසායනික පොහොර වහාම ලබාදීම හැර වෙනත් විසඳුමක් නොමැති බවද ඔහු කීය.
පොළොන්නරැව පරාක්‍රම සමුද්‍රය, ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල යන මහ වැව් යටතේ සහ වෙනත් වැව්, අමුණු මගින් ජලය සැපයෙන කුඹුරු බිම් ප්‍රමාණය අක්කර එක් ලක්‍ෂ පනස් දහසකට අධිකය.
මේ අතර ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි කුඹුරු ප්‍රමාණයද අක්කර එක් ලක්‍ෂ පනස් දහස ඉක්මවයි.
එහෙත් අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් රාජාංගනය ජලාශය යටතේ මාස් කන්නයේ වී වගාව සඳහා ජලය නිකුත් කිරීම ආරම්භ කර ඇති බවද ඇතැම් ගොවීන් මේ වන විට වගා කටයුතු සඳහා යොමුවී ඇති බවද ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් නිහාල් වන්නිආරච්චි මහතා අප කළ විමසුමකදී ප්‍රකාශ කළේය. රාජාංගනය ව්‍යාපාරය යටතේ අක්කර 20,000ක පමණ කුඹුරු ප්‍රමාණයක් අස්වද්දනු ලැබේ.