2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා

කොවිඩ් බලපෑමෙන් මානසික රෝගීන් වැඩිවෙලා

 2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 52

| සුගත් පී. කුලතුංගආරච්චි

කොවිඩ් හේතුවෙන් විෂාදය ඇතුළු කිහිප ආකාරයක මානසික රෝග ඇතිවීමේ ප්‍රවනතාව මේ වනවිට ඉහළ යමින් ඇති බව විශේෂඥ වෛද්‍ය රූමී රූබන් “දේශයට” පැවැසීය. කාණ්ඩ 3කට අයත් පුද්ගලයන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂාවන් අනූව පොදුවේ සියයට 40ක පමණ පිරිසක් විවිධ මානසික ව්‍යාකූලතාවලට ලක්ව සිටින බව හෙළිව තිබේ.

මූලිකවම කොවිඩ් වැළඳී සුව වූ පිරිස අතරින් සියයට 40 කට ආසන්න ප්‍රමාණයකට  බය, තැතිගැන්ම, හුස්ම ගැනීමේ අපහසුව, මතකය අඩුවීම වැනි රෝග ලක්ෂණ වාර්තා වී ඇත. එයින් සියයට 30කට පමණ විෂාදියට සමාන කනගාටුව, ශෝකය කලකිරීම සහ රෝග සඳහා භීතීය වැනි රෝගී ලක්ෂණ මතුව ඇති බව සනාථ වී තිබේ.

මේ හැර දීර්ඝකාලීනව ලොක්ඩවුන්වලට ලක්වීම සහ නිරෝධායනයට ලක්වූ උදවිය අතරින් සියයට 20-30ක් අතර කණ්ඩායමකට දීර්ඝ කාලීනව පවතින රෝග සඳහා වූ අනියත බිය, හිතින් මවාගත් රෝගී තත්ත්ව ගැන තැවීම. විවිධ රෝග තමන්ටද ඇතැයි සැකකර ඒ ගැන දිගින් දිගට මාධ්‍ය ඔස්සෙ පවා කරුණු සොයන්නට පෙළඹීම,‍ විවිධ ප්‍රතිකාර වෙනස් කරමින් ලබාගැනීමට පෙලඹීම. ඒ හේතුවෙන්ම මානසිකව ඇති වූ හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම, මේ හේතුවෙන් එදිනෙදා වැඩ කටයුතු පවා අවුල් කර ගැනීම වැනි මානසික ව්‍යාකූලතා  වැළඳී ඇති බව සොයාගෙන ඇත.

කොවිඩ් සමග දීර්ඝකාලීනව කටයුතු කරන සෞඛ්‍ය සේවකයන්ගේ සියයට 30 පමණ පිරිසක් අතර මේ තත්ත්වය වඩාත් දැඩිව වාර්තා වන බව විශේෂඥ වෛද්‍ය රූමී රූබන් පෙන්වා දෙයි. නින්ද නොයාම, ඉක්මන්  කෝපය, නොරිස්සුම් ස්වභාවය, හුස්ම ගැනීමේ අපහසුතා, විඩාවට පත්වීම, ප්‍රබෝධය හීන වී යාම වැනි මානසික අසාමාන්‍යතා බහුලව  වාර්තාවී තිබේ.