2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා

විස්මිත කොවිඩ් බෙහෙත් වට්ටෝරුව ශ්‍රී ලංකාවටත්

 2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 28

සුගත් පී. කුලතුංගආරච්චි l

කොවිඩ් වෛරසය වඳකර දමන්නට සමත් molnupiravir විස්මිත බෙහෙත් කරල ගැන දැන් තවත් සුබ ආරංචියක් ලැබී තිබේ. බෙහෙත්  කරලේ නිෂ්පාදක සමාගම් එය අඩුමිලට  නිපදවා භාවිතයට ගන්නට ලොව නැති බැරි රටවල් සඳහා  අවසර දීම ඒ සුබ ආරංචියයි.

මේ සමග ලංකාවද ප්‍රමුඛ ලොව අඩු ආදායම් සහිත රටවල් 105කට කොවිඩ් කරලේ  නිෂ්පාදන සූත්‍රය ලබාදෙන්නට ඔවුන් එකඟ වී තිබේ. සමාගමේ මේ විශිෂ්ට තීරණය නිසා සතියකට සෑහෙන බෙහෙත් කරල් ප්‍රමාණය රුපියල් 4000 කට පමණ මිලදී ගන්නට අපට හැකිවනු ඇත. මේ සහනය නැතිනම් මේ සඳහා රුපියල් 145,000ක් පමණ වැය කිරීමට සිදුවන්නට තිබුණි.

ලොවපුරා ඖෂධ සාධාරණව බෙදීම අරමුණු කරගත් ඖෂධ පේටන්ට් සංචිතය Medicines Patent Pool නමැති එක්සත් ජාතීන්ගේ දායකත්වය ලබන සංවිධානය සමග ඖෂධ සමාගම් මේ ගිවිසුමට පැමිණ හමාරය. covid19 ට එරෙහිව තැනූ ලොව පළමු බෙහෙත් කරල වන මෙය හඳුන්වාදීමත් සමඟ වසර 100කට පසු පැමිණි මහා වසංගතය කම්මුතුවන බවට මතයක් දැන් තහවුරැ වෙමින් තිබේ.