2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා

රජයේ තීන්දුවට මහජන සභාවේ විරෝධය

 2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 09:59 19

ගයාන් ගාල්ලගේ l

ඇමරිකානු සමාගමකට යුගදනවි බලාගාරය පවරාදීමේ ගිවිසුම වහාම හකුලාගන්නා ලෙස රජයට බලකරන බව පසුගිය සිකුරාදා (29) සවස පිටකෝට්ටේ පැවති මහජන මන්ත්‍රණ සභාවේදී ආණ්ඩුවේ පක්ෂ නායකයෝ 11 දෙනෙක් ඉල්ලා සිටියහ.

මෙම ගිවිසුම ජාතික ආරක්ෂාවටත්, ජාතික ආර්ථිකයටත් සහ රටේ බලශක්ති සුරක්ෂිතතාවයටත් බරපතළ තර්ජනයක් බව එම පක්ෂ නායකයෝ පෙන්වා දුන්හ.

යුගදනවි ගිවිසුම අවලංගු කරනතුරු එකී සටන තමන් දරණ තනතුරු වරප්‍රසාද ගැන නොසලකා ඉදිරියටත් රැගෙන යන බව මහජන මන්ත්‍රණ සභාව ඇමතූ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයෝ අවධාරණය කළහ. රටේ බලශක්ති හිමිකම ශ්‍රී ලංකාවේ පාලනයෙන් ඉවත්වීම අනතුරක පෙර නිමිත්තක් බවද එම නායකයෝ පැවසූහ.

පසුගිය බ්‍රහබ්‍රහස්පතින්දා ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් සමඟ යුගදනවි බලාගාර ගිවිසුම ඇතුළු ආණ්ඩුවේ අභ්‍යන්තර ප්‍රශ්න ගණනාවක් සම්බන්ධයෙන් පැවැත්වූ පක්ෂ නායක හමුවෙන් අනතුරැව මහජන මන්ත්‍රණ සභාවට පැමිණ මෙම පක්ෂ නායකයෝ යුගදනවි ගිවිසුමට විරෝධය පලකළහ.

මෙම පක්ෂ නායකයන් අතර අතුරලියේ රතන හිමි, වාසුදේව නානයක්කාර, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, දයාසිරි ජයසේකර, තිස්ස විතාරණ, අසංක නවරත්න, ඒ.එල්.එම්.ඒ. අතාවුල්ලා, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග, විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව් වීරසිංහ ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.