2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා

ගුරු සමිති මවුපියන්ට බලපෑම් කරනවලු

 2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 17

I චමිඳු නිසල් ද සිල්වා

පාසල් ආරම්භ වීමත් සමඟ නැවතත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹී සිටින ගුරු විදුහල්පති වෘත්තීය සමිති තම අරගලයට සහාය පළ කරන ලෙස දරුවන් මගින් දෙමව්පියන්ට බලපෑම් එල්ල කරන බවට පාසල් රැසක දෙමව්පිය සංවිධාන චෝදනා කරයි.

උද්ඝෝෂණ ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය පෝස්ටර් නිර්මාණය කොට සමාජ ජාල සමූහයන් හරහා දෙමව්පියන් වෙත යවා එම පෝස්ටර් මුද්‍රණය කර උද්ඝෝෂණ සඳහා රැගෙන එන ලෙසට ඇතැම් ගුරුවරුන් දෙමාපියන් වෙත දන්වා ඇතැයි පාසල් සංවර්ධන සමිති නියෝජිතයන් පිරිසක් දේශයට පැවසූහ.

දරුවන් දඩමීමා කොටගෙන ගුරු විදුහල්පති වර්ජනය සඳහා දෙමාපිය සහයෝගය ලබාගැනීමේ යුක්ති සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන්නේදැයි අපි දේශය වෙනුවෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතාගෙන් විමසා සිටියෙමු. එම චෝදනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවත් දෙමාපියන් ගුරු වර්ජනය සඳහා සහයෝගය ලබාදෙන්නේ ස්ව කැමැත්තෙන් බවත් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය. මෙම චෝදනාව දෙමව්පියන්ට කරන අපහාසයක් බවද ඔහු ප්‍රකාශ කළේය. එසේම ඉදිරියේදී අනූ ලක්ෂයකට අධික දෙමව්පියන් සම්බන්ධ කර ගනිමින් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට සූදානමක් ඇතැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.