2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා

වී-එළවළු-ගොඩ බෝග වගාව අඩකින් බසී

 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 28

I දේශපාලන වාර්තාකරු

රසායනික පොහොර හිඟය නිසා දිස්ත්‍රික්ක රැසක වී, එළවළු සහ ගොඩ බෝග වගාවන් මෙතෙක් ආරම්භ කර නැතැයි ප්‍රාදේශීය වාර්තාකරුවෝ පවසති.

වී වගාව බහුලව කරන අම්පාර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව සිටින ප්‍රදේශවල වී වගාව ආරම්භ කර ඇති නමුත් බහුතර සිංහල ජනතාව සිටින ප්‍රදේශවල කුඹුරු ගොවිතැන මෙතෙක් ආරම්භ කර නොමැත.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පරාක්‍රම සමුද්‍රය, කවුඩුල්ල ව්‍යාපාරය යටතේ වගා කෙරෙන කුඹුරුවලින් බහුතරය ඉදිරි කන්නය සඳහා මෙතෙක් වගාවට සූදානම් කර නැතත් රාජාංගණය ව්‍යාපාරය යටතේ කුඹුරු අක්කර 25,000ක පමණ ප්‍රමාණයක් දැනට වගාව සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ කර තිබේ. අනුරාධපුරය දිස්ත්‍රික්කය, හම්බන්තොට දිස්ත්‍රික්කය හා වව්නියාව දිස්ත්‍රික්කවල හරි අඩක් පමණ කුඹුරු වගාවට සූදානම් කර නැත. ඉතිරි ප්‍රදේශවල වී වගාවට අවශ්‍ය පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි. මෙම දිස්ත්‍රික්කවල ගොඩ බෝග වගා කරන ගොවීන් බහුතරය පොහොර ප්‍රශ්නය නිසා එම වගාවන් අතහැර දමන තත්ත්වයට පත්ව ඇතැයි සඳහන්ය.

කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්කවල බහුතර ගොවීන් ඉදිරි කන්නය සඳහා තම කුඹුරු සකස් කර තිබේ. යාපනය, වව්නියාව හා කිළිනොච්චි දිස්ත්‍රික්කවලද හරි අඩක් පමණ වගාබිම් වගාව සඳහා සූදානම් කරමින් ඇතැයි වාර්තා වෙයි. එහෙත් එළවළු වගා කරන නුවරඑළිය සහ වැලිමඩ ප්‍රදේශවල ගොවීන් බහුතරයක් සිය වගාවන්ගෙන් ඵලදායී අස්වැන්නක් නොලැබෙන බවට චෝදනා කරමින් වගාවෙන් ඈත්වෙමින් සිටින බවද දැනගන්නට ඇත.