2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා

2022 අයවැය

 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 24

ජනතාවට බර නොපැටවූ ඉතිහාස ගතවන අයවැයක්

- ප්‍රසන්න රණතුංග

I ගයාන් ගාල්ලගේ

මේ අය වැය ජනතාවට බරක් නොපැටවූ ජනතා හිතවාදී රට ගොඩනංවන අයවැයක් බව සංචාරක සහ ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා දේශයට පැවසීය.

මේ අය වැය තුළ ඉදිරි වසර පමණක් නොව අනාගතයම සැලසුම් කර ඇති බවත් සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි ඉදිරිපත් කළ අයවැයක් ලෙස ඉතිහාස ගතවන බවත් හෙතෙම සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාගයේ දැක්ම මේ මහපොළව තුළ යථාර්ථයක් වන අයවැයක් බවද අමාත්‍යවරයා කීය.

මේ අයවැය රට නොව පක්ෂය ගොඩනගන අයවැයක්

- මන්ත්‍රී මරික්කාර්

 

I ගයාන් ගාල්ලගේ

මෙම අයවැය රට ගොඩනගන අයවැයක් නොව පොහොට්ටු පක්ෂය ගොඩනගන අයවැයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා දේශයට පැවසීය. 

අයවැය හරහා වියදම් ගැන යෝජනා විශාල ප්‍රමාණයෙන් ඉදිරිපත් කළත් එම වියදම් සඳහා ආදායම් උපයා ගන්නා ආකාරයේ කිසිදු සාර්ථක වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නොමැති බව හෙතෙම සඳහන් කළේය. 

ලබන වසරේදී ජනතාවට තව තවත් බර පැටවෙන බව මේ අයවැය හරහා පැහැදිලිව පෙනෙන බව මරික්කාර් මහතා වැඩිදුරටත් කීය.

 

අයවැයෙන් අවුල වියවුල් වුණා

- හඳුන්නෙත්ති

I ගයාන් ගාල්ලගේ

මේ අයවැය හරහා රටේ වියදම පියවා ගැනීමට අවශ්‍ය ආදායම ලබාගන්නා ආකාරයත්, රුපියල අවප්‍රමාණය වැළැක්වීම සඳහා ගන්නා නිසි ක්‍රියාමාර්ගය ගැනවත් සඳහන් නොකර කෝටි ගණනින් මුදල් වෙන්කිරීම මහා ආර්ථික වියවුලක් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා දේශයට පැවසීය.

මන්ත්‍රී විශ්‍රාම වැටුප ලබාදීම අවුරුදු 5 සිට 10 දක්වා වැඩිකිරීම මගින් අයවැයේ අවුල වසාගත් බවත් සිදුවිය යුත්තේ පහ දහය කිරීම නොව මන්ත්‍රීවරුන්ට ලබාදෙන නිල නිවාස, පෞද්ගලික කාර්ය මණ්ඩල සහ ප්‍රභූ ආරක්ෂාවන් නවතා දැමීම බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ නිසා මෙය හුදු ජනතාව ඇන්දවීමේ තවත් එක් අයවැයක් පමණක් බව හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් කීය.