2022 ජනවාරි 01 වන සෙනසුරාදා

මාස 9ට ණය ට්‍රිලියන 2කින් වැඩිවේ

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 114

I යසවර්ධන රුද්රිගූ

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශිත අලුත්ම දත්ත අනුව රටේ නොගෙවූ මුළු ණය ප්‍රමාණය 2021 වසරේ මුල් මාස 9 තුළ 2020 වසරට සාපේක්ෂව රුපියල් ට්‍රිලියන දෙකකින් පමණ ඉහළ නැග ඇත. මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශිත දත්ත අනුව 2021 ඔක්තෝබර් අග වනවිට මුළු ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 17.05ක් විය.

මේ ප්‍රමාණය 2020 ඔක්තෝබර් මස අග පැවතුණේ රුපියල් ට්‍රිලියන 15.12ක් වශයෙනි. 2020 වසරේ මුල් මාස 9 තුළ ණය වර්ධනය වී තිබුණේ රුපියල් බිලියන 1934.5ක් පමණි.

මහා භාණ්ඩාගාර දත්ත අනුව 2021 මුල් මාස 9 තුළ දේශීය ණය රුපියල් බිලියන 1533.4කින් ඉහළ නැග බිලියන 10598.5ක් බවට පත්ව තිබුණි. සමස්ත විදේශ ණය මෙම මාස 9 තුළ බිලියන 401කින් ඉහළ ගියේය. මුළු විදේශ ණය ප්‍රමාණය මේ වනවිට රුපියල් බිලියන 6453.2ක් විය.

2021 වසරේදී මෙලෙස ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.93කින් ඉහළ ගොස් ඇත්තේ එම වසර තුළ බලපෑ කොරෝනා වසංගත තත්ත්වය තුළ විශාල වශයෙන් ණය ලබාගැනීමට රජයට සිදුවීමය. එසේම රුපියලේ අගය අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව මෙම කාලය තුළ සියයට 7.2කින් බාල්දු වී තිබේ. එයද තවත් හේතුවක් විය.