I යසවර්ධන රුද්රිගූ
නව පනතක් මගින් අයකිරීමට යන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රජයේ විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයෙන් ඉවත් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.
ඔහු පෙන්වා දෙන්නේ මෙලෙස අයකෙරෙන බදු මුදල් මහා භාණ්ඩාගාරයේ එක්තරා නියෝජ්‍ය ලේකම්වරයකුගේ පාලනය යටතේ ඇති ගිණුමකට බැරවීම මෙයට හේතුව බවයි.
නව පනත මගින් තෝරාගත් භාණ්ඩ සහ සේවා ගණනාවක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා ඇති අතර එම භාණ්ඩ හා සේවාවලට මෙතෙක් කල් පැනවූ වැට් බද්ද අහෝසි කර එම බද්ද ද වෙළෙඳ භාණ්ඩ බද්දට යටත් කර ඇත. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අයකරන බදු මුදල් ඍජුවම රජයේ ඒකාබද්ධ අරමුදලට බැරවන අතර එම මුදල් රජයේ විගණකාධිපතිවරයා විසින් විගණනය කරනු ලැබේ. එහෙත් විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රජයේ ඒකාබද්ධ අරමුදලට බැර නොවන නිසා විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයෙන් බැහැර වේ.
රජය මෙම විශේෂ වෙළෙඳ භාණ්ඩ මත්පැන්, දුම්වැටි, කැසිනෝ ආදී සූදු ක්‍රීඩා සහ මෙතෙක් බදු දැලට හසු නොවූ වෛද්‍ය, නීතිඥ, අධ්‍යාපන, සැලසුම්, මානක ආදී ක්ෂේත්‍ර ගණනාවක් සඳහා පැනවීමට බලාපොරොත්තු වන බව වාර්තා වේ. දැනටමත් මෙය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ ඇති අතර, ඉදිරියේ පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට අපේක්ෂිතය.