2022 ජනවාරි 15 වන සෙනසුරාදා

ගාමිණී සෙනරත් ලබන සතියේ ජනපති ලේකම් පුටුවට!

 2022 ජනවාරි 15 වන සෙනසුරාදා, පෙ.ව. 10:02 145

I දේශපාලන වාර්තාකරු

නව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ඉදිරි සතියේ සිය ධුරයේ වැඩ භාරගැනීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.

වත්මන් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සිය ධුරයෙන් විශ්‍රාම ලැබීමෙන් පසු සෙනරත් මහතා නව ධුරයෙහි වැඩ ගැනීමට දින නියම කැරිණි.

විශ්‍රාම ලබන ජනාධිපති ලේකම් ආචාර්ය ජයසුන්දර මහතා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් රාජ්‍ය සේවාවට එක්වී වසර 44ක රාජ්‍ය සේවා කාලයක් සම්පූර්ණ කර තිබේ. අභිනව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා වසර 38ක රාජ්‍ය සේවා කාලයක් සපුරා ඇති ප්‍රවීණ පරිපාලන නිලධාරියෙකි. 1984 වසරේ පදවි ශ්‍රීපුර උප දිසාපතිවරයා ලෙස රාජ්‍ය සේවයට එක්වූ හෙතෙම සිවිල් ගුවන් සේවා කොමසාරිස්, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, මහජන බැංකු සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා සභාපති, ලිට්රෝ ගෑස් සමාගම් සභාපති, ජනාධිපති අතිරේක ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී සහ අගමැති ලේකම් තනතුරු දරා ඇති ජ්‍යෙෂ්ඨ පරිපාලන සේවා නිලධරයෙකි.

මාතර හක්මන උපන් ඔහු හක්මන මෙතෝදිස්ත විද්‍යාලය, මාතර රාහුල විද්‍යාලය හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය යන විදුහල්වල ආදි සිසුවෙකි. අනතුරුව කැලණි සරසවියෙන් උපාධි ලැබූ හෙතෙම කොළඹ සරසවියෙන් පශ්චාත් උපාධි ලැබීය. ඔහු විදේශ සරසවි ගණනාවක පරිපාලන සේවා සහ නායකත්ව පුහුණු ලාභියෙක්ද වෙයි.