2022 ජනවාරි 22 වන සෙනසුරාදා

ඔමික්‍රොන් පැතිරීම: ඉදිරි සති දෙක අවදානම්!

 2022 ජනවාරි 22 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 53

සුගත් පී. කුලතුංගආරච්චි l

ඔමික්‍රොන් මාදිලියේ සමාජගතව පැතිර යාම සම්බන්ධයේන් ඉදිරි සති 2ක කාලය ඉතාමත් තීරණාත්මක බවත් විශේෂයෙන්ම වයස 60ට වැඩි එන්නත් නොගත් මිලියනයකට ආසන්න කණ්ඩායමකගේ ජිවිත අවදානම් මට්ටමක පවතින බවත් වසංගත රෝග විද්‍යා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ ‘දේශය‘ට පැවසීය.

ඔමික්‍රෝන් පැතිර යාම මිස මරණ නැතැයි සිතා බූස්ටර් මාත්‍රාව මඟහැරීම හෝ මූලික සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකා ක්‍රියා කළහොත් දැනට බටහිර රටවල සහ ඉන්දියාවේද දක්නට ලැබෙන ආකාරයට දෛනිකව ලක්ෂ ගණනින් ආසාදිතයන් වාර්තා වීම සිදුවිය හැකි බවත් ඒ හා සමඟ මරණ සංඛ්‍යාවේ ඉහළ යාමක්ද වාර්තා විය හැකි බවටත් ඔහු අනතුරු අඟවයි.

රටේ එන්නත් ලබාගැනීමේ පහසුව සහ බහුලතාව සකස්ව තිබියදී මරණ අඩුවීම යන කාරණාව මත බූස්ටර් එන්නත ප්‍රතික්ෂේප කිරීමම ඉදිරි කාලයේ මරණ සංඛ්‍යාව ඉහළ යාමට හේතුවක් වනු ඇතැයි ඔහු කියයි. විශේෂයෙන්ම ඔමික්‍රෝන් හේතුවෙන් වයස 60 වැඩි උදවිය සහ නිදන්ගත රෝගවලින් පෙළෙන අය ඉක්මණින්ම ආසාදනය වන අතර ඔවුන් හට බරපතළ සංකූලතා ඇතිවීම හෝ මරණය පවා සිදුවිය හැකි බවට වසංගත රෝග විද්‍යා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ අනතුරු අඟවයි. මේ නිසා විවිධ කටකතා නොතකා හැකි ඉක්මණින්ම බූස්ටර් එන්නත ලබාගැනීමත්, සෞඛ්‍ය උපදේශ පිළිපදිමින් සෙනඟ ගැවසෙන ස්ථාන මඟහැර සිටීමත් සුදුසු බව ඔහු පෙන්වා දෙයි.