2022 ජනවාරි 22 වන සෙනසුරාදා

විදුලි කැපිල්ල අර්බුදයකට යන ලකුණු - විදුලි ඉංජිනේරු සංගමය

 2022 ජනවාරි 22 වන සෙනසුරාදා, පෙ.ව. 10:02 121

I ගයාන් ගාල්ලගේ

මේ මස 28 වනවිට නොරොච්චෝල බලාගාරයේ තුන්වැනි විදුලි ජනන යන්ත්‍රය අලුත්වැඩියා කොට එහි මෙගාවොට් 300ක විදුලි බලය ජාතික විදුලි බල පද්ධතියට එකතු නොවුණහොත් දැවැන්ත විදුලි අර්බුදයක ආරම්භය සිදුවන බව විදුලි බලමණ්ඩයේ විදුලි ඉංජිනේරැ සංගමයේ ලේකම් ධම්මික විමලරත්න මහතා පැවසීය.

පසුගිය බදාදා (19) රාත්‍රියේ කැලණිතිස්ස බලාගාරයට අවශ්‍ය ඉන්ධන මෙට්‍රික් ටොන් 10,000ක ප්‍රමාණය ලැබුණු බවත් එය ලබන 28 තෙක් ප්‍රමාණවත් බවත් එසේම දැවි තෙල් ආධාරයෙන් ක්‍රියාත්මක වන බලාගාර තුනකට අවශ්‍ය දැවි තෙල් 22 දායින් පසුව අවසන් වන බවත් ඒ මහතා කීය. ඒ නිසා වැඩි වශයෙන් ජල විදුලිය කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුවී ඇති නමුත් ජලාශවල ජලයද ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව හෙතෙම පැවසීය.

පෙබරවාරි සහ මාර්තු මාසය වන විට වර්ෂාව අහිමි වී, අවශ්‍ය තෙල් ප්‍රමාණය නොලැබුණොත් මාර්තු අග වනවිට විදුලි කප්පාදු කරන වෙලාව නොව ජනතාවට විදුලිය ලබාදෙන පැය ගණන පමණක් ප්‍රකාශයට පත්කරන්නට සිදුවන බවත් විමලරත්න මහතා පැවසීය.

අද වනවිට විදුලි බලයේ ඉල්ලුමත් සැපයුමත් එක සමාන මට්ටමට ඇවිත් බවත් දිනකට මෙගාවොට් 2500- 2700 අතර ප්‍රමාණයක් අවශ්‍ය බවත් යම් හෙයකින් එක් බලාගාරයක් හෝ අක්‍රීය වුවහොත් සමස්ත විදුලිබල පද්ධතියම කඩාවැටෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප විදුලි බල මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී ඇන්ඩෲ නවමානී මහතාගෙන් විමසීමක් කළ විට ඒ මහතා සඳහන් කර සිටියේ විදුලි ඉංජිනේරු සංගමය එවැනි අවදානමක් ඇති බව කියන්නේ නම් එය සත්‍ය වියයුතු බවය.