2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා

දියේ ගිලෙන අයට ආපදා වන්දි නෑ

 2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 62

චමිඳු නිසල් ද සිල්වා l

අවදානම නොතකා නොසැලකිලිමත් ලෙස දිය නෑමට ගොස් දියේ ගිලීමෙන් සිදුවන මරණ සම්බන්ධ වන්දි ලබාදීමට හෝ වගකීමක් දැරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට නොහැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා දේශයට පැවසීය.

දිය නෑමට අනුමත ස්ථානයන්හි පමණක් ජීවිත ආරක්ෂකයන් රඳවා ඇති අතර බොහෝ ස්ථානවල අනතුරු ඇඟවීමේ පුවරුද සවිකර ඇතැයි විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කළේය. ඉකුත් වසරේ ඔක්තෝබර් අවසන් සතියේ සිට නොවැම්බර් පළමු සතිය දක්වා පමණක් දියේ ගිලීම් 26ක් රපෝර්තු වී ඇත. එම මරණ කිසිවකට අපදාවන් ලෙස සලකා වන්දි ලබාදීමේ හැකියාවක් නොමැති බව සුදන්ත රණසිංහ මහතා දේශයට පැවසීය. එසේම ඇතැම් අනතුරු ඇඟවීමේ පුවරු ප්‍රදේශවාසීන් වාණිජ අරමුණු මත ඉවත් කර ඇතැයිද ඒ මහතා ප්‍රකාශ කළේය.

පසුගිය සති කිහිපය තුළ දියේ ගිලීම් සිදුවූ මරණ නවයක් පමණ වාර්තා වී ඇති අතර ඒවා බොහෝමයක් බීමත්කම සහ නොසැලකිලිමත් බව හේතුවෙන් සිදුව ඇතැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේය. දිවයිනේ දියනෑමට ඇති සෑම ස්ථානයක ජීවිත ආරක්ෂකයන් රුඳවීම හෝ පොලීසිය යොදවා නිරන්තර දැනුවත් කිරීම් සිදුකිරීම ප්‍රායෝගිකව සිදුකළ නොහැක්කක් යැයිද ඒ මහතා පැවසීය. කෙසේ වෙතත් ජීවිත ආරක්ෂක කණ්ඩායම් සම්බන්ධ කරගනිමින් පාසල් මට්ටමින් සහ ප්‍රජාව දැනුවත් කිරීම් සිදුකරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා තවදුරටත් ප්‍රකාශ කළේය..