2022 මාර්තු 06 වන ඉරිදා

විමල්-උදය ස්වාධීන වෙති

 2022 මාර්තු 06 වන ඉරිදා, පෙ.ව. 10:00 253

දේශපාලන වාර්තාකරු l

පසුගියදා අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කරන ලද විමල් වීරවංශ, උදය ගම්මන්පිල අමාත්‍යවරුන් ප්‍රමුඛ ඔවුන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස තවදුරටත් කටයුතු කිරීමට තීන්දු කර ඇත.
රජය ගනු ලබන තීන්දු තීරණවලදී රටට හිතැති ස්වාධීන මතයක් දැරීම එම කණ්ඩායමේ අරමුණ බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

මෙම විකල්ප කණ්ඩායම සමඟ සිටින වාසුදේව නානායක්කාර මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් නොවිය යුතු බව එම පක්ෂ නායකයන් අතර සිකුරාදා පැවති රැස්වීමකදී තීන්දු කර තිබේ. එහෙත් ඔහු මෙම කණ්ඩායම කරන සියලු සටන්වලදී විකල්ප කණ්ඩායම සමඟ ක්‍රියා කිරීමට තීන්දු කර ඇත. 

ඒ අතර මෙම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පසුගිය සිකුරාදා රාත්‍රියේ තීරණාත්මක දේශපාලන සාකච්ඡාවක් පැවැත්වූහ. එහි ප්‍රතිඵල කුමක්දැයි මෙතෙක් ප්‍රකාශයට පත්වී නැත.

එසේම සෙනසුරාදා (05) පෙරවරුවේ අනුරාධපුරයේ පැවැත්වෙන ආගමික උත්සවයකදී උදය ගම්මන්පිල සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුවනු ඇතැයි සිකුරාදා සවස වාර්තා විය.

මෙම විකල්ප කණ්ඩායම සමඟ එක්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ලබන සතියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත. ඊට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තු කණ්ඩායම සහභාගි වනු ඇතැයි සඳහන් වේ. මෙම සාකච්ඡාවට සහභාගී වීම සම්බන්ධව ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව සහ මන්ත්‍රී කණ්ඩායම අතර මත ගැටුමක් හටගෙන ඇති බවද ආරංචි මාර්ග පවසයි.