ආර්ථික වාර්තාකරු l
ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ වන ඉන්ධන, තිරිඟු පිටි, ගෑස් ආදියේ වත්මන් මිල ගණන් තවත් වාර දෙකකින් වැඩිවනු ඇති බව ප්‍රකට ආර්ථික විශේෂඥයෙක් හා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වන ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා දේශයට පැවසීය.
මෙලෙස වාර දෙකකින් එම භාණ්ඩ මිල ගණන් වැඩිවීමට බලපාන හේතු ගණනාවකි. රුපියල අවප්‍රමාණ වීම, ජාත්‍යන්තර වෙළෙඳ පොළේ මෙම භාණ්ඩවල මිල ගණන් විශාල ලෙස ඉහළ යාම, රුසියානු යුක්‍රේන යුද්ධය නිසා හටගෙන ඇති අර්බුදකාරී වෙළෙඳ වාතාවරණය මීට සෘජුව බලපාන හේතු අතර ප්‍රධානය. උදාහරණයකින් පැවසුවොත් පවතින ලෝක වෙළඳ පොළ මිල ගණන් අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනට තිබෙන ඉන්ධන මිල තවත් රුපියල් 150-200ත් අතර ගණනකින් ඉහළ දැමීමට සිදුවනු ඇතැයිද ඔහු පැවසීය.
කිරිපිටි ඇතුළු සෙසු ද්‍රව්‍යවල මිල ගණන් බාහිර වෙළෙඳ පොළින් වැඩි මිලට ඩොලර් මිලදී ගත් පිරිස විසින් දැනටමත් වැඩිකර තිබේ. මේ අනුව රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා රැසක මිල ගණන් ඉහළයාම නිසා ජනතාව දෙයාකාරයකින් වන්දි ගෙවීමට සිදුවී ඇති බවත් ආචාර්ය විජේවර්ධන වැඩිදුරටත් පැවසීය. එහිදී පළමුව භාණ්ඩ මිලෙන්ද දෙවැනුව තමන්ගේ ශ්‍රමයෙන්ද ගෙවීමට සිදුවන අතර භාණ්ඩ මිල ඉහළ යාම දරන්නට සිදුවන බව ඔහු සඳහන් කළේය. ගෑස් හෝ ඉන්ධන මිලදී ගැනීමට පෝලිම්වල සිටින ජනතාවගේ දවසේ ශ්‍රමයේ වටිනාකමද ඊට එකතු කළ විට ඔවුන්ට දරන්නට වන ජීවන බර බෙහෙවින් අධික වන බව විජේවර්ධන මහතා අවසන් වශයෙන් කීය.