2022 අප්‍රේල් 10 වන ඉරිදා

ඩොලර් නැතිකම සහ දූෂණය බෙහෙත් හිඟය උග්‍ර කරයි!

 2022 අප්‍රේල් 10 වන ඉරිදා, පෙ.ව. 10:04 156

සුගත් පී. කුලතුංගආරච්චි l

නිලධාරි අක්‍රමිකතා, දූෂණ ඇතුළු වළක්වාගත හැකිව තිබූ කරුණු කිහිපයක් සමඟ ඩොලර් අර්බුදය මතුවීමත් සමග ආනයනය අඩාල වීමෙන් ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ හිඟයකට මඟපෑදී ඇතැයි ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ලෝහිත සමරවික්‍රම කියයි.

වත්මන් ලෝක වෙළඳපළ පිළිබඳ නොසලකා උපරිම මිලක් නියම කිරීම, ණයවර ලිපි නිකුත් කිරීමේ පමාව, ආනයනය ඇනවුම් කරන මොහොතට වඩා මිල ක්ෂණිකව ඉහළ යාම, මෙන්ම මිලදී ගැනීම් සඳහා අරමුදල් ප්‍රමාණවත් නොවීම, දින 180 ණය සහන කාලයට ලබාගත් ඖෂධ සහ භාණ්ඩ සඳහා ඇතැම් ආනයනකරුවනට  මුදල් පියවිය නොහැකිවීම සමග පැමිණි ඩොලර් අර්බුදය මේ තත්ත්වයට බරපතළ ලෙස  හේතුවී ඇති බව ඔහු පෙන්වා දෙයි. ලංකාවේ ඖෂධ අවශ්‍යතාවයෙන් සියයට 80ක්ම ආනයනය මත රඳා පවත්වා ගැනීමත් දේශීය නිෂ්පාදන සඳහා උනන්දු නොකිරීමත් හේතුවෙන් මේ තත්ත්වය තවත් දරුණු වී ඇති බව ඔහු කියයි.

දැනට ඇති ඖෂධ සහ උපකරණ තොග අත්‍යවශ්‍යම ප්‍රතිකාර සඳහා යොදා ගනිමින් ප්‍රමුඛතා කළමනාකරණයක ලක්කර භාවිතයට ගැනීම මගින් මේ අර්බුදයට මුහුණ දීමට කටයුතු කර ඇති බව ඖෂධ නිෂ්පාදනය සැපැයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍යශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය සමන්ත රත්නායක කියයි. පසුගිය සතියේ ඩොලර් මිලියන 20ක අරමුදල් ලැබුණු අතර ඒ මුදලින් ඇනැවුම් කළ ඖෂධ මේ වනවිටත් ලැබෙන බවත් ණයවර ලිපි නිකුත් කිරීම අරඹා ඇති බවත් ඔහු කීය. ඉන්දියාවෙන් ණය සහන අරමුදලක් ඉල්ලා ඇති අතර ඉදිරි සති කිහිපය තුළ එය ලැබෙන්නට නියමිත බවද  ඉදිරියේදී ඇති විය හැකි හිඟය වළක්වා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය, රතුකුරුසය, ආසියා සංවර්ධන බැංකුව ඇතුළු ආයතන සහ විදෙස් රජයන් වෙතින් ආධාර ඉල්ලා ඇති බවද ඔහු පැවසීය.