2022 අප්‍රේල් 24 වන ඉරිදා

අගමැති පුටුවට නම් තුනක්

 2022 අප්‍රේල් 24 වන ඉරිදා, පෙ.ව. 10:00 1051

I දේශපාලන වාර්තාකරු

යෝජිත අන්තර්වාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා නම් තුනක් යෝජනා වී ඇතැයි ඉහළ පෙළේ දේශපාලන අංශ ආරංචි මාර්ග සඳහන් කරයි. දේශයට ලැබුණු විශ්වාස කටයුතු තොරතුරු මගින් සනාථ වූයේ එම නම් අතර කතානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරැන්ගේ නම් ඇතුළත් බවය.

මෙම ප්‍රධාන නම්වලට අමතරව වාසුදේව නානායක්කාර, රමේෂ් පතිරණ යන මහත්වරුන්ගේ නම්ද ඇතැම් පිරිස් අග්‍රාමාත්‍ය තනතුර සඳහා යෝජනා කර ඇතැයි වාර්තා වෙයි.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ජනාධිපති බලතල ඉවත් කරන පරිවාස ආණ්ඩුවක අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට සූදානම් වන බව එ.ජා.ප. නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.

මේ අතර සිකුරාදා සවස හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් දන්වා ඇත්තේ ජනතාවගේ ඉල්ලීම් ඉටුකිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා වරයා පුමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් විය යුතු බවය.
එසේ ඉවත් වී පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂවල එකඟතාව අනුව වසරක කාලයක් සඳහ ප්‍රමාණයෙන් කුඩා කැබිනට් මණ්ඩලයක් සහිත සර්වපාක්ෂික ආණ්ඩුවක් සැකසිය යුතු බව ද ඔහු විසින් යෝජනා කර ඇත.