2022 අප්‍රේල් 24 වන ඉරිදා

අයි.එම්.එෆ්. හදිසි ආධාරයකට සාකච්ඡා

 2022 අප්‍රේල් 24 වන ඉරිදා, පෙ.ව. 10:01 117

I සංජීවිකා සමරතුංග

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනට එක්ව සිටින ශ්‍රී ලංකාව දැනට හටගෙන ඇති උග්‍ර ආර්ථික අර්බුදය විසඳීම සඳහා හදිසි මූල්‍යාධාරයක් (R.F.I) ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් අනුමත කරවා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර තිබේ.

මුදල් අමාත්‍ය අලි සබ්‍රි සහ මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය අතර මේ ගැන දැනටමත් මූලික අදහස් හුවමාරුවක් සිදු වී ඇත. ශ්‍රී ලංකාව ඉල්ලා සිටින මෙම හදිසි ආධාරය කඩිනමින් ලබාදෙන ලෙස ඉන්දීය මුදල් ඇමැතිනී නිර්මලා සීතාරාම් මහත්මියද මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබුණි.

මේ වසරේ ශ්‍රී ලංකාවට බලපා ඇති විදේශ විනිමය අර්බුදයෙන් මිදීමට නම් අමෙරිකානු ඩොලර් බිලියන 4ක් (කෝටි 400ක්) අවශ්‍ය කෙරේ. මූල්‍ය අරමුදලට අමතරව ඉන්දියාව, ජපානය, චීනය, ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුවෙන් එම අරමුදල් සම්පාදනය කර ගැනීම මහ බැංකුවේ අරමුණ බව වාර්තා වෙයි. දැනටමත් මෙරට සමෘද්ධිලාභීන් ඇතුළු දුප්පත් ජනතාවට අවශ්‍ය සහන සැලසීම පිණිස ලෝක බැංකුවෙන් තවත් ඩොලර් මිලියන 400ක මුදලක් කඩිනමින් ලබාගැනීමටද සාකච්ඡාවක් අරඹා ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.