I දේශපාලන වාර්තාකරු
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය අහෝසි කෙරෙන 21 වැනි සංශෝධනයට අදාළව ව්‍යවස්ථා කෙටුම්පත් තුනක් කතානායකවරයාට භාරදීමට ප්‍රධාන පක්ෂ ගණනාවක් තීන්දු කර තිබේ.
ආණ්ඩු පක්ෂය වෙනුවෙන් මේ ගැන දේශයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේ තම පක්ෂය විසින් සකස් කරන ලද 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය අද හෙටම කතානායකවරයාට බාරදෙන බවයි. එමගින් විධායක ජනාධිපති ධුරයේ බලතල සංශෝධනය කිරීමට යෝජනා කර ඇති බව හෙතෙම සඳහන් කළේය.
සමගි ජනබලවේගයේ ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට කීවේ තම පක්ෂය ඇතුළු විපක්ෂයේ පක්ෂ කිහිපයක් විසින් කෙටුම්පත් කළ 21 වැනි සංශෝධන යෝජනාව කතානායකවරයාට මේ වනවිටත් බාරදී ඇති බවය. එහි අන්තර්ගතයද විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අඩු කිරීම යැයි ලේකම්වරයා කීය.
ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රධානියකු වන මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේ තම කණ්ඩායම විසින් කෙටුම්පත් කළ ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක්ද කඩිනමින් කතානායකවරයාට බාරදීමට නියමිත වගයි. තම පක්ෂයෙන් ඉදිරිපත් කෙරෙන 21 වැනි සංශෝධන යෝජනා මගින් නැවතත් රටේ ස්වාධීන කොමිෂන් සභා බලගැන්වෙන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නැවතත් බලතල සහිත ආයතනයක් බවට පත් කෙරෙන්නේ යයිද පැවසීය. එසේම අමාත්‍යවරුන් පත් කිරීමේදී ජනාධිපතිවරයාගේ තනි අභිමතයට අමාත්‍යවරැන් පත්කළ නොහැකි වන ලෙස නීති සම්පාදනය කෙරෙයි. අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ඇමැතිවරුන් පත් කෙරෙන ක්‍රමවේදයක් නව සංශෝධනයෙන් යෝජනා කරන්නේ යැයිද ඔහු සඳහන් කළේය. මෙම සියලු යෝජනාවල අරමුණ විධායක ජනාධිපති ධුරයේ බලතල අඩු කිරීම යයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලට අමතරව හිටපු අග්‍රාමාත්‍ය සහ එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා ක්‍රමය යළිත් ස්ථාපිත කිරීමට අදාළව ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් ගෙන ඒමට නියමිත යැයිද පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.