දේශපාලන වාර්තාකරු l
යෝජිත අන්තර්පාලන ආණ්ඩුව පිහිටුවීම පිළිබඳ අවසන් තීරණය ගැනීමට ජනාධිපතිවරයාට විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීම පවත්වන තෙක් කල් බැලීමට සිදුවනු ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග කියයි.
කෙසේ වෙතත් ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සමඟ පසුගිය සිකුරාදා පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ වූ බව ප්‍රකාශ වී ඇත. එසේම එම සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීම හා එහි සංයුතිය හා කාර්යභාරය ගැන සෙසු පක්ෂ සමඟ සාකච්ඡාවක් පැවැත්වීමටද තීන්දු වූ බව වාර්තා වෙයි.
මෙහිදී සාකච්ඡාවට සහභාගීවූ පක්ෂ නායකයන් අන්තර්පාලන ආණ්ඩුව සඳහා නව අගමැතිවරයෙකු පත්කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බව ප්‍රකාශ කරඇත.
පවත්නා තත්ත්වය යටතේ ආණ්ඩුව මෙන්ම විපක්ෂයද ප්‍රකාශ කරන්නේ තමන්ට මැති සබයේ බහුතරය ඇති බවය. එම විවාදය නිසා නිල වශයෙන් ජනාධිපතිවරයාට අන්තර් පාලනය ස්ථාපිත කිරීම පිළිබඳ තීන්දුව විශ්වාසභංගය හමාර වනතෙක් පමා කරන්නට සිදුවන බව දේශපාලන අංශ ආරංචි මාර්ග කියයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ වනවිටත් ප්‍රකාශ කර ඇත්තේ මැතිසබයේ බහුතරය තම පක්ෂය සතු නිසා අන්තර් පාලනයක් හෝ තමන් තනතුරින් ඉවත්වීමක් අනවශ්‍ය බවය.
පසුගියදා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රුස්වීමේදීද මෙම මතය සනාථ කර ඇත. ඒ අතර ආණ්ඩුවට අභියෝග කරමින් විපක්ෂය ලබන සතියේ මැතිසබයට ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීමෙන් ලැබෙන ප්‍රතිඵලය අනුව අන්තර් පාලන තීන්දුව ජනාධිපතිවරයා විසින් ගැනීමට නියමිත බව දැනගන්නට ඇත.