2022 මැයි 15 වන ඉරිදා

සජිත් අවස්ථා තුනක් අහිමි කරගත්තා - සෝභිත හිමි

 2022 මැයි 15 වන ඉරිදා, පෙ.ව. 10:02 368

දේශපාලන වාර්තාකරු I

පවත්නා දේශපාලන අර්බුදය විසඳාගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත තමන් වහන්සේ ප්‍රමුඛ ආගමික නායකයන් ඉදිරිපත් කළ යෝජනා තුනම ඔහු විසින් නොපිළිගැනීම කනගාටුවට කරුණක් බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ප්‍රකාශ කරති.

සමාජ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ පසුගිය අප්‍රේල් 04දා සිට විපක්ෂ නායකවරයා සමඟ අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා සාකච්ඡා වට 20ක් පමණ පැවැත්වූ බවය.

එම සාකච්ඡාවලදී මුලින්ම විපක්ෂ නායකවරයාට අග්‍රාමාත්‍ය ධූරය භාරගන්නා ලෙස යෝජනා කළ බව පැවසූ උන්වහන්සේ ඔහු ඊට අකැමැති නම් පක්ෂයෙන් වෙනත් අයකු යෝජනා කරන්නැයි දෙවනුව පැවසූ බව අවධාරණය කළහ. එම යෝජනාවටද සාර්ථක ප්‍රතිචාරයක් නොලැබුණු තැන ජාතික ලැයිස්තුව හරහා පිටස්තර නිර්පාක්ෂික ජ්‍යෙෂ්ඨයකු මෙම තනතුර සඳහා තෝරාගන්නා ලෙස යෝජනා කළ බව සඳහන් කළෝය. එහෙත් එම යෝජනා තුනටම නිසි මොහොතේ යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා අද තිබෙන තත්ත්වය උදා වූ බව පැවසූ උන්වහන්සේ එක් මන්ත්‍රී ධූරයක් ඇති පක්ෂයක් නියෝජනය කරන රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලැබීම තමන්වහන්සේ අනුමත නොකරන වගද පැවසූහ.