චමිඳු නිසල් ද සිල්වා I
පසුගිය සතිය වනවිට මෙරට සංචාරකයන් පැමිණීමේ දෛනික සාමාන්‍ය 1025 දක්වා පහළ වැටී කර්මාන්තයේ 40%ක 45%ක පමණ පසුබෑමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය දේශයට පැවසීය.
පසුගිය මාර්තු මාසයේදී දෛනිකව සංචාරක පැමිණීම තුන්දහස් තුන්සීයක (3,300) පමණ අගයක් ගෙන තිබූ අතර සති අන්තවලදී එම අගය හාරදහසද (4000) ඉක්මවා තිබේ. ඒ අනුව මාර්තු මාසයේදී එක් ලක්ෂ හය දහසක් (106,000) වූ සංචාරක පැමිණීම පසුගිය අප්‍රේල් මාසයේදී හැට දෙදහස් නවසිය අසූවක් (62,980) දක්වා පහළ වැටී ඇතැයි අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කළාය. රට තුළ නිර්මාණය වූ අර්බුදකාරී වටපිටාව තුළ මාර්තු මස අවසානයේ සිට කර්මාන්තයේ මෙම බිඳවැටීම නිරීක්ෂණ වන බව ඇය වැඩිදුරටත් පවසයි.
කොවිඩ් පාලනය සහ නව ප්‍රවර්ධන වැඩසටහන් හේතුවෙන් වසරේ මුල් මාස කිහිපයේ පැවති සංචාරක පැමිණීම ඉහළ අගයක් ගෙන තිබේ. ඒ අනුව ඉකුත් දෙසැම්බර්යේ දී 89,000ක්, ජනවාරියේදී 82,000ක්, පෙබරවාරියේදී 96,000ක් සහ මාර්තු මාසයේදී 106,000ක් ලෙස සංචාරක පැමිණීම වර්ධන වෙමින් පැවති බව අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කළාය. ඒ හේතුවෙන් මැයි මාසය වනවිට මෙරට සමස්ත සංචාරක පැමිණීම ලක්ෂ 13 කට ආසන්න වෙතැයි පුරෝකථනය කර ඇත. එහෙත් නවතම ගණනය කිරීම්වලට අනුව මැයි මස අවසානයේ දී සංචාරක පැමිණීම හය ලක්ෂ පනස් දහසක් (650,000) පමණ පහළ අගයක් සටහන් වනු ඇතැයි ධම්මිකා විජේසිංහ මහත්මිය පැවසීය.