I දේශපාලන වාර්තාකරු
රාජ්‍ය ආයතන විසින් සිදු කරන පරිපාලන හා මූල්‍යමය අක්‍රමිකතා පිළිබඳව හෙළිදරව් වන තොරතුරු අනුව ඊට අදාළ වගකිවයුත්තන්ට එරෙහිව ඉදිරි නීතිමය පියවර ගැනීමටද බලය ලැබෙන ලෙස පාර්ලිමේන්තුවේ කෝප් සභාවට (පොදු ව්‍යාපාර කාරක සභාවට) සහ කෝපා සභාවට (රාජ්‍ය ගිණුම් කාරක සභාවට) වැඩි බලතල පැවරීමට පාර්ලිමේන්තු කාරක සභාව එකඟත්වය පළ කර ඇත.
මෙතෙක් කල් පැවති සම්ප්‍රදාය වූයේ කෝප් සභාව විසින් රාජ්‍ය සංස්ථා මණ්ඩල හා අධිකාරින් සම්බන්ධවත් කෝපා සභාව රජයේ දෙපාර්තමේන්තු සම්බන්ධවත් අවශ්‍ය විමර්ශන සිදුකොට පාර්ලිමේන්තුවට වාර්තා කිරීම පමණි.
මෙම සභාවලට වැඩි බලතල පැවරීමට අවශ්‍ය පසුබිම සැකසීම පිණිස එම සභා දෙකේ සභාපති තනතුරැ විපක්ෂ මන්ත්‍රීන්ට පැවරීමටද පාර්ලිමේන්තු කාරක සභාව තීන්දු කළේය. මෙකී බලතල පුළුල් කිරීමේදී මෙම සභාවන් විසින් යම් රාජ්‍ය ආයතනයක් සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයාට ලබාදෙන නිර්දේශ සති අටක (මාස දෙකක) කාලයක් තුළ ක්‍රියාත්මක කළ යුතු යැයි නව වගන්තියක් ද පැනවෙයි.
එම නිර්දේශවලට අමතරව කෝප් සහ කෝපා සභාවලට පත්කෙරෙන මහජන මන්ත්‍රීන් කිසිවකු ඇමැති ධූර නොදැරිය යුතුය යන්න ද මේ සම්බන්ධව ගත් නවතම තීන්දුව බව සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමට දැනුම් දී ඇත. ඉහත සඳහන් නව විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා මැතිසබයේ ස්ථාවර නියෝග සංශෝධනයටද පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වෙයි.