I දේශපාලන වාර්තාකරු
ශ්‍රී ලංකාව විදේශ රටවල් සමඟ පවත්වාගෙන යන විවිධ ණය ගිවිසුම් අනුව ගෙවිය යුතු ණය සහ පොලී වාරික ගෙවීම මහ බැංකුව විසින් තාවකාලිකව අත්හිටුවීම නිසා ලීසිං ක්‍රමයට ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ලබාගන්නා ලද ගුවන්යානා 25කට අදාළ ණය සහ පොලී මුදල් පියවාගත නොහැකිව ශ්‍රීලංකන් සමාගම අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින බව දේශයට වාර්තා වෙයි.
මෙම ගුවන්යානා 25 ලීසිං ක්‍රමයට ලබාගෙන ඇත්තේ අදාළ ලීසිං සමාගම්වලට පරම අයිතිය හිමිවන කොන්දේසියකට යටත්වය. ලෝක ප්‍රකට ගුවන්යානා ලීසිං සමාගම් වන එයාර් කැප් ලීසිං සමාගම, එයාර් ලීසිං කෝපරේෂන් සමාගම සහ ඇවලෝන් ලීසිං සමාගම ඇතුළු විවිධ රටවලට අයත් ලීසිං සමාගම් හරහා මෙම ගුවන්යානා 25 ශ්‍රීලංකන් ආයතනය ලබාගෙන තිබේ. එම ලීසිං සමාගම් වෙත ගෙවිය යුතු ලීසිං වාරික නිසි පරිදි නොගෙවුවහොත් අදාළ ගුවන්යානා මෙරටදී හෝ පිටරටකදී අධිකරණ තහනමකට යටත්කොට ඒවායේ පරම අයිතිය හිමි ලීසිං සමාගමට නැවත ලබාගැනීමට හැකියාව පවතී.
පසුගියදා රුසියානු ගුවන් යානයක් ලීසිං නොගෙවීමේ ප්‍රශ්නයක් මත ශ්‍රී ලංකාවේදී උසාවි තහනමකට යටත් කළේය. ශ්‍රීලංකන් ගුවන් යානාවලටද මෙබඳු නීති ප්‍රශ්න ඇතිවුවහොත් එය සමස්ත ගුවන් සේවයේ පැවැත්මට බරපතළ ලෙස බලපාන ගැටලුවක් වෙයි. ශ්‍රීලංකන් ගුවන් සේවය සතු යානා 25ම මේ ආකාරයේ ලීසිං ගිවිසුම්වලට යටත්ව පවත්නා නිසා තත්ත්වය තවත් බරපතළ වන බව ශ්‍රීලංකන් ගුවන් සේවා ආරංචි මාර්ග කියයි.