2022 ජුලි 10 වන ඉරිදා

ඉන්දියාව ඊළඟ තෙල් ණයට අනුමැතිය දීලා

 2022 ජුලි 10 වන ඉරිදා, පෙ.ව. 08:00 50

I දේශපාලන වාර්තාකරු

ඉන්ධන සැපයුම සඳහා රජය විසින් ඉන්දීය රජයෙන් ඉල්ලා ඇති දෙවැනි ණය පහසුකම අනුමත කොට ගිවිසුම් අත්සන් කිරීම අගෝස්තු මස මැද භාගයේදී සිදුකෙරෙනු ඇතැයි ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

රජය මෙලෙස ඉන්දියාවෙන් ඉල්ලා ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 500කි. ඊට අමතරව රජයේ සෙසු වියදම් පියවා ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියනයක කෙටිකාලීන සීමිත ණය පහසුකමක්ද ඉල්ලා ඇත.

ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා මේ ගැන ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතා රාමන් මහත්මිය සමඟ පවත්වන ලද සාකච්ඡා සාර්ථක වී ඇති අතර අදාළ ණය ගිවිසුම්වලට රජයේ අනුමැතිය ලද වහාම ඒවා අත්සන් කෙරෙනු ඇතැයි සඳහන් වෙයි.

මෙම ණය මුදලට අමතරව ඉන්ධන සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඖෂධ ඇතුළු දේ මිලට ගන්නට මෙයට පෙර ඉන්දියාව අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක (කෝටි 1500) ණය මුදලක් සපයා දුන්නේය.