2022 ජුලි 17 වන ඉරිදා

ජනපති පුටුවට දෙකොන් සටනක්?

 2022 ජුලි 17 වන ඉරිදා, පෙ.ව. 08:00 378

දේශපාලන වාර්තාකරු I

මෙරට අටවැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වන මැතිසබා ඡන්දයට ප්‍රධාන දේශපාලන බල කඳවුරු නියෝජනය කරමින් අපේක්ෂකයන් දෙදෙනෙකු ඉදිරිපත් කෙරෙනු ඇතැයි නවතම දේශපාලන ආරංචි මාර්ග කියයි.

පසුගිය සිකුරාදා වනවිට ජනපති සටන සඳහා රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ ඩලස් අලහප්පෙරුම යන අපේක්ෂකයන් තිදෙනා ඉදිරිපත් වන බවට වාර්තා පලවිය.  එහෙත් තම අපේක්ෂකත්වය නිල වශයෙන් සානාථකර තිබුණේ ඩලස් අලහප්පෙරුම හිටු අමාත්‍යවරයා පමණි . 

අවසන් මොහොතේ විපක්ෂ  අපේක්ෂකත්වය  සම්බන්ධයෙන් සජිත් සහ ඩලස් අතර එකඟතාවක් ඇතිකර ගැනීමට සමත්ව ඇතැයි තිරය පිටුපස දේශපාලන ආරංචි මාර්ග කියයි. ඒ අනුව ජනාධිපති ධුරය හා අගමැති ධුරය සජිත් ප්‍රේමදාස  සහ ඩලස් අලහප්පෙරුම අතර බෙදී යනු ඇති බව දැනගන්නට තිබේ. කෙසේ වෙතත් ජනාධිපති ධුරය සඳහා විපක්ෂය නියෝජනය කරමින් සජිත් ප්‍රේමදාස  මහතා ඉදිරිපත් කරන්නේද යන්න සති අන්තයේදී  සජබ විසින් තීරණය කෙරෙනු ඇතැයි  එහි  ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය. 

ඒ අතර පොහොට්ටුව පක්ෂය ජනාධිපතිවරයා තේරීමේ ඡන්දයේදී තම සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙනු ඇතැයි දැනගන්නට ඇත. එසේම තවත් කුඩා පක්ෂ ගණනාවක මන්ත්‍රීන් ගණනාවක් රනිල් වික්‍රමසිංහට සහය පලකරන බවද කියැවෙයි.

කෙසේ හෝ නව ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ලබන 19දා කතානායකවරයා විසින් නාමයෝජනා භාරගනු ඇත. ලබන 20දා ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා වන මැතිසබා ඡන්දය පැවැත්වෙයි.