2022 ජුලි 17 වන ඉරිදා

ඩීසල් - පෙට්‍රල් නැව් ලබන සතියේ එනවා!

 2022 ජුලි 17 වන ඉරිදා, පෙ.ව. 08:02 110

ව්‍යාපාරික වාර්තාකරු I

පසුගියදා ඇණවුම් කළ ඩීසල් මෙට්‍රික් ටොන් 1,21,000ක් (එක් ලක්ෂ විසි එක් දහසක්) නෞකා තුනක් මගින් ඉදිරි සතිය තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.

මෙම ඩීසල් තොගය ලැබෙන්නේ මෙට්‍රික් ටොන් 40,000 නැව් දෙකක් සහ මෙට්‍රික් ටොන් 41,000ක නැවක් වශයෙන් බව ඛනිජතෙල් අමාත්‍යංශය නිවේදනය කරයි.

ඩීසල්වලට අමතරව ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 70,000ක් රැගත් නැව් දෙකක්ද ඉදිරි සතිය තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය. මෙයින් පෙට්‍රල් සහ ඩීසල් නැව් කිහිපයක් සඳහා දැනටමත් මුදල් ගෙවා තිබේ.

ශ්‍රී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට ලැබෙන මෙම තෙල් තොගයට අමතරව ලංකා ඉන්දියන් ඔයිල් සමාගමද පෙට්‍රල් සහ ඩීසල් නෞකා දෙකක් ඉදිරි දින කිහිපය තුළ ආනයනය කරන බවද වාර්තා වෙයි.

මෙම ආනයනික තෙල් තොග ඉදිරි සති තුනක කාලය සඳහා මෙරට ඉන්ධන අවශ්‍යතා සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත්ය. ඉන්පසු රටට අවශ්‍ය ඉන්ධන තොග නව රජය පිහිටවූ පසු ඇණවුම් කළ යුතු බව තෙල් සංස්ථාව පවසයි.