2022 අගෝස්තු 21 වන ඉරිදා

පෞද්ගලික අංශයේ අල්ලස් දූෂණ වැටලීමට කොමිසමට බලතල

 2022 අගෝස්තු 21 වන ඉරිදා, පෙ.ව. 08:04 156

I අධිකරණ වාර්තාකරු

පෞද්ගලික අංශයේ ආයතනවල සිදුවන අල්ලස් දූෂණ සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධව විමර්ශනය කිරීමට පුළුල් බලතල ලැබෙන පරිදි අල්ලස් ‍හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනත සංශෝධනයට රජය තීරණය කර තිබේ. රාජ්‍ය පෞද්ගලික දෙඅංශයේම අල්ලස් දූෂණය හා වංචාව තුරන් කිරීම පිණිස කොමිෂන් සභාවට මෙම බලතල ලැබෙන ලෙස අදාළ පනත සංශෝධනය කරන ලෙස රජයට නිර්දේශ කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි.

පෞද්ගලික අංශයේ අය රාජ්‍ය අංශයේ අයට අල්ලස් දීම, පෞද්ගලික අංශයේ ටෙන්ඩර්වලදී අදාළ නීතිමය පටිපාටි උල්ලංඝනය කොට වාසි ලබාගැනීම සඳහා අල්ලස් හා දූෂණ ක්‍රියාවල නිරතවීම සහ පෞද්ගලික අංශයේ අය විසින් සිදු කරන මුදල් විශුද්ධිකරණ කටයුතු ගැන විමර්ශනයට බලය ලැබෙන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනත සංශෝධනය කෙරේ. නව සංශෝධනයත් සමඟ අල්ලස් දූෂණ හා මුදල් විශුද්ධිකරණ චෝදනාවලට නියම කරන දඩ මුදල් සහ සිරදඬුවම්ද ඉහළ දමා තිබේ.

මෙම සංශෝධන ඇතුළත් පනත සම්මත වූ පසු අල්ලස් දූෂණ කොමිසම මෙරට බලවත්ම කොමිෂන් සභාව බවට පත්වන බව පැවසේ. දැනට පනත කෙටුම්පත් කර හමාර වී ඇති අතර ලබන මාසයේදී එය මැතිසබයට ඉදිරිපත් කෙරෙනු ඇත.