2022 අගෝස්තු 21 වන ඉරිදා

සංචාරකයන්ගේ වීසා ගාස්තු අඩු කෙරේ

 2022 අගෝස්තු 21 වන ඉරිදා, පෙ.ව. 08:01 179

ව්‍යාපාරික වාර්තාකරු l

සංචාරක ව්‍යාපාරය දිරිගැන්වීම සඳහා සංචාරකයන්ට ලබාදෙන වීසා කාලය දින 270 සිට වසරක් දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත. එසේම ඒ සඳහා වන ගාස්තු අයකිරීමේ ක්‍රමවේදය සරල කිරීමටත් විශේෂ අමාත්‍ය මණ්ඩල තීරණයක් ගෙන තිබේ.

සංචාරකයන්ගෙන් අයකරන වීසා ගාස්තුව නව තීරණයත් සමඟ අඩු කෙරේ. ඒ අනුව කලින් දින 180ක කාලයක් සඳහා අය කළ අමෙරිකානු ඩොලර් 245ක මුදල ඩොලර් 35 දක්වා අඩුවන බව රජය ප්‍රකාශ කරයි. එසේම බහුවාර පිවිසුමක් සහිතව වසරක කාලයක් සඳහා ලබා දුන් සංචාරක වීසාවේ ගාස්තුවද ඩොලර් 685 සිට ඩොලර් 200 දක්වා විශාල ලෙස අඩුකර ඇත.

කොවිඩ් වසංගත තත්ත්වය යටතේ අඩාල වූ සංචාරක ව්‍යාපාරය නගාසිටුවීමේ අරමුණින් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ විශේෂ යෝජනාවක් අනුව මෙම වීසා ගාස්තු අඩුකිරීමේ තීරණය ගෙන ඇති බව ජනාධිපති කාර්යාලය පවසයි.